මදුරු දඟරයක දුම සිගරට් 135ක විසට සමානයි

එක් මදුරු දඟරයකින් නිකුත්වන විෂ දුම සිගරට් 135කින් නිකුත්වන විෂ දුමට සමාන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිරසාර ජෛව ස්කන්ධ පිළිබඳ බලශක්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සම්පත් රණසිංහ මහතා පවසයි.

ඒ අනුව සිගරට් එකක දුම්වල අවලම්බිත අංශු හා විවිධ විෂ වායු වර්ග 4000ක් පමණ අන්තර්ගත බවත් සිගරට් 135කින් විශාල විෂ දුම් ප්‍රමාණයක් නිකුත් වන බවත් පවසන රණසිංහ මහතා අපේ රටේ මදුරු දඟර නිෂ්පාදනයේ නියම ප්‍රමිතියක් තවම නැති බවද පවසයි.

සිගරට් දුමේ ප්‍රබල පිළිකා කාරක සියයකට ආසන්න ගණනක් ඇති බවත් ඒ අනුව මදුරු දඟරවලින් ද ඊට වඩා විශාල පිළිකා කාරක හා විෂ දුම් පිටවන බවද රණසිංහ මහතා පවසයි.

කාබන් මොනොක්සයිඩ්, ෆෝමැල්ඩිහයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, අවලම්බිත අංශු ඇතුළු පිළිකා ජනක හා ශරීරයට ඉතා අහිතකර‍ දේ රැසක් මදුරු දඟරවලින් එන දුමේ අන්තර්ගතවේ.

ඒ මඟින් හෘදයාබාධ, පෙණහලු පිළිකා, කැස්ස, උගුරේ ආබාධ, හිසරදය, ආඝාතය, ඇස්වල විකෘති, අක්මාවට හානිවීම, සමේ ආබාධ ආදිය ඇතිවීමට ඉඩ ඇති බව වෛද්‍ය පර්යේෂණ මඟින් අනාවරණය වී ඇති බවද සම්පත් රණසිංහ මහතා පවසයි.

නිහාල් පී. අබේසිංහ