තුනේ පන්තියේ දරුවන් 11 දෙනාටම අකුරු බැහැ

අම්පාර අක්‌කරපත්තුව සිංහල මහා විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන සිසුන් 11 දෙනාට අකුරු ලියන්නට කියවන්නට නොහැකි බවත් තම දරුවන් බේරා ගැනීමට ඉදිරිපත් වන ලෙසත් අක්‌කරපත්තුව සිංහල දෙමාපියෝ වගකිව යුතු අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව කළ සොයා බැලීමේදී එම විද්‍යාලයේ 3 වසරේ ඉගෙනුම ලබන සිසුන් 11 දෙනාටම අකුරු කියවීමට හෝ අකුරු ලියන්නට නොහැකි බව හෙළි විය. ඉකුත් වසර තුනේම මෙම දරුවන්ගේ පන්ති භාරව කටයුතු කළ ගුරුවරුන් දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට කටයුතු නොකර නිකරුනේ කාලය ගත කර ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.

පාසලට යවන තම දරුවන්ට සිංහල හෝඩිය හෝ "අ" ලියන්න ගුරුවරුන් වසර 3 ටම හුරුකර නැති බව දෙමාපියෝ කියති.

මේ පිළිබඳව එම විද්‍යාලයේ ගුරුවරු මෙසේ කියති. අද කියා දෙන "අ"යන්න හෙට ලියන්න ඒ ළමයින්ට මතක නෑ. මොන තරම් මහන්සි ගත්තත් මාර්ගයකට ගන්න බැරිනම් මොනවා කරන්නද? අකුරු බැරි නිසා එම වසරේම රඳවා ගන්නත් බෑ. අලුත් ළමයි එනවා. මේ ළමයි ඒ ළමයින්ට බාධා වන්න පුළුවන්. පන්තියක ළමයි වර්ග 3 ක්‌ ඉන්නවා සුබග ළමුන්, දුබග ළමුන් හා අපචාරී ළමුන්. සුබග ළමයි කියන්නේ යමක්‌ කියා දුන්නාම තේරෙන ළමයි. දුබග ළමුන් කියන්නේ කියා දෙන දේ නොතේරෙන ළමුන්. අපචාරි ළමයි කියන්නේ තමන් වැඩක්‌ කරන්නෙත් නෑ, අනුන්ට වැඩක්‌ කරන්න දෙන්නෙත් නෑ. මේ ළමයි 11 දෙනා දෙවන තුන්වන කාරණාවලට අයත් ළමයි. මේ වගේ ළමුන්ට විශේෂ අධ්‍යාපන ක්‍රම තිබෙනවා. ඒවාට පුහුණු කළ ගුරු උපදේශකවරුන් අධ්‍යාපන කාර්යාලවල ඉන්නවා."

මේ පිළිබඳව අම්පාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ ගෝමරන්කඩවල විමලසේන මහතා කීවේ මේ පිළිබඳව විශේෂ අවධානය යොමුකරන බවයි.