එස්‌ටීඑෆ් හිටපු ප්‍රධානියා රිමාන්ඩ්

Former Commandant of the Police STF remanded till August 6th
රජයේ වාහනයක්‌ අවභාවිත කොට රජයට රුපියල් එක්‌ ලක්‍ෂ 46 දහසක අලාභයක්‌ සිදුකිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි කේ. එල්. එම්. සරත්චන්ද්‍ර මහතා ලබන 6 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23 දා) නියෝග කළේය.

නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙකු ලෙස 2011 මාර්තු මස විශ්‍රාම ගිය සරත්චන්ද්‍ර මහතා හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පත්කර ඇති බවත් එම තනතුර 2015 ජනවාරි මස වර්තමාන රජය පත්වීමෙන් පසුව අහෝසි කර ඇති බවත් විමර්ශන සිදුකළ පොලිස්‌ විශේෂ විමර්ශන ඒකකය සිය පැමිණිල්ල මගින් අධිකරණයට පෙන්වා දී තිබුණි.
ජනාධිපති ආරක්‍ෂක අංශයේ ආරක්‍ෂක සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලබාදී තිබූ නිල වාහනය හා රියෑදුරු සැකකරු විසින් 2015-01-21 වැනිදා සිට 2015-08-21 දක්‌වා කාලය අතරතුරදී නිල නොවන අයුරින් තම පෞද්ගලික සේවයට යොදවා ගැනීම මගින් එකී අලාභය සිදුකොට පොදු දේපළ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බව පෙන්වා දෙමින් පොලිස්‌ විශේෂ විමර්ශන අංශය කළ කරුණු දැක්‌වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් එම නියෝගය කළේය.