යාපනයේ 'යතුරු පැදි කල්ලි'

යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධිය
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා 'බීබීසී සංදේශය'ට පැවසීය.

යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බව අමාත්‍යවරයා පවසයි.

එවැනි වාතාවරණයක් තුළ ශිෂ්‍යයන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය මාර්ග සංඥා නොතකමින් ගමන් කරනු දුටු පොලිස් නිලධාරීන් කලබල වී ඔවුන්ට වෙඩි තබා ඇතැයි අනාවරණය වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පවසන පරිදි එම පොලිස් නිලධාරීන් මුලින් පවසා තිබෙන්නේ ඔවුන් අහසට වෙඩි තැබූ බවයි.

අදාළ පොලිස් නිලධාරීන් පිරිස ඒ අවස්ථාවේ සත්‍යය හෙළි කළේ නම් ඒ පිළිබඳව මෙතරම් ආන්දෝලනයක් මතු නොවනු ඇතැයි පවසන අමාත්‍ය සාගල රත්නායක මහතා, ප්‍රදේශයේ නීතිය සහ සාමය රැකීම විනා යාපනයේ ජනතාවට හෝ උතුරේ දෙමළ තරුණයන්ට එරෙහිව පොලිසිය කිසිදු සංවිධානාත්මක මෙහෙයුමක් දියත් කර නොමැති බව අවධාරණය කළේය.

සඳුදා ශෝක දිනයක් :

සිදුවීම පිළිබඳව සැලවීමෙන් අනතුරුව ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම පරීක්ෂණයක් ආරම්භ කළ බව සඳහන් කළ අමාත්‍ය සාගල රත්නායක මහතා, පොලිස් නිලධාරීන්ට කුමන ආකාරයේ ගිනි අවි සැපයිය යුතුද යන්න සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර විශේෂ ප්‍රතිපත්තියක් සකස් කරන බවත් 'සංදේශය'ට පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරීන් පස් දෙනා නොවැම්බර් 04 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මේ අතර ශිෂ්‍යයන්ගේ අවමගුල් උත්සව පැවැත්වෙන සඳුදා දිනය ශෝක දිනයක් ලෙසින් යාපන විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

පොලිසියේ 'මාධ්‍ය සංදර්ශන':

ස්ථිර පොලිස් ප්‍රකාශකවරයකු නොමැතිවීම හේතුවෙන් පොලිසියේ කටයුතු සම්බන්ධයෙන් කරුණු විමසීමට මාධ්‍යවලට ලැබී තිබුණු අවස්තාව ඇහිරීම පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස් නිලධාරීන් 'මාධ්‍ය සංදර්ශන' පැවැත්වීම කෙරෙහි තමාගේ කිසිදු මනාපයක් නොමැති බවයි.

"අන්තිමට ඒ මාධ්‍ය සංදර්ශන නිසා පොලිස්පතිතුමා, ඇමතිතුමා සහ ආණ්ඩුව අපහසුතාවයට පත්වෙනවා," ඔහු පැවසීය.

පොලිසියේ දෛනික කටයුතු පිළිබඳව දිනකට මාධ්‍ය නිවේදන කිහිපයක් නිකුත් කරන ලෙසත්, විශේෂ සිදුවීම්වලදී අමාත්‍යංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කර මාධ්‍ය දැනුවත් කරන මෙන් පොලිසියට උපදෙස් දී ඇති බවත් අමාත්‍ය සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(බිබිසි සංදේශය)