අවම බලය ගැන පොලිස්පතිගේ මතය

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේ වෙඩිතැබීමට තරම් වාතාවරණයක් තිබුණේද යන්න ගැටළු සහගත බවත්, එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම එම සිදුවීම වහාම වාර්තා නොකිරීම එම නිලධාරීන් විසින් සිදුකළ වරදක් බවත්,එය පැහැදිලිවම විනය කඩකිරීමක් බවත් පොලිස්පතිවරයා කියා සිටියේ අද(25)150වන පොලිස් දින සංවත්සරය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති උත්සවයකට එක්වී මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදීය.

එම සිසුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගෙනදීම දක්වා ඉගැන්වීමට මව්පියන් දරන වෙහෙස ගැන ,ජීවිත දෙකක වටිනාකම ගැන සිතන විට ‍මෙය ඉතාම කනගාටුදායක සිදුවීමක් බවත්,එම නිසාම තමා සිද්ධිය සැලවූ වහාම තමා වහාම පියවර ගත් බවත් හෙතෙම අවධාරණය කළේය.

මෙහිදී ඊයේ දිනයේ ‍ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා විසින් අදහස් දක්වමින් පොලීසියට නොනවත්වා ධාවනය කරන රියකට වෙඩිතැබීමට කිසිදු බලයක් නැති බව ප්‍රකාශ කළ බැවින් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අදහස විමසා සිටින ලදී.

ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ එය ලේකම්වරයාගේ පුද්ගලික අදහසක් විය හැකි නමුත් පොලීසියට මෙවන් අවස්ථාවකදී අවම බලය හා අවශ්‍ය බලය ක්‍රියාවට නැංවිය හැකි බවයි.

පොලිස් ආඥා පනතේ 53වන වගන්තිය යටතේ පොලීසියට අවම බලය හා අවශ්‍ය බලය පාවිච්චි කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කරුණු දැක්වෙන බවත්,මීට අමතරව අපරාධ නඩුවිධාන සංග්‍රහය,සාක්ෂි ආඥා පනත,දණ්ඩ නීති සංග්‍රහය ආදීයෙහිද පොලිසිය ක්‍රියා කළ හැකි ආකාරය සම්බන්ධයෙන් දැක්වෙන බවත්,එහිදී වැදගත් වන්නේ එකී බලය භාවිතා කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණයවීම හෝ නොවීම පිළිබඳ කාරණය බවත් ඔහු සිහිපත් කළේය.

තමා පොලිස්පතිවරයා ලෙස යමක් ප්‍රකාශ කරනු ලබන්නේ මධ්‍යස්ථාව හා නිවරදි කරුණු බවත්,ඒ තමාගේ පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකිරීමට පරිස්සම්වන බවත්,පොලිස් කොමිසමේ ලේකම්වරයාද එසේ කළ යුතුව තිබුණු බව තමන් විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළේය.

චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කපා කොටා තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වමින් පොලිස්පතිවරයා කියා සිටියේ එම අවස්ථාවේදී බුද්ධි අංශ නිලධාරීන් සිටියේ නිල ඇඳුමෙන් නොවන නිසා එම ප්‍රහාරය සිදුව ඇත්තේ පොලිස් නිලධාරීන් බව නොදැන බවයි.

පැවති ගැටුමකදී වගකිව යුතු නිලධාරීන් ලෙස අහක නොබලා සිටීමට නොහැකි බැවින් ඔවුන් මැදිහත්ව ඇති බවත්,එහිදී ප්‍රහාරයට ලක්ව ඇති බවත් පෙන්වා දුන් පොලිස්පතිවරයා මෙම ප්‍රහාරයට වගකිව යුතු පිරිස්,යතුරු පැදි හා පණිවිඩ හුවමාරු කළ දුරකථන සොයාගෙන ඇති බවත්,ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.