බුද්ධි නිලධාරියාගේ දුරකථනයෙන් වැදගත් තොරතුරු

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමා බව සඳහන් කරමින් ලිපියක් ලියා තබා ගෙල වැලලාගෙන මියගිය යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් මේජර්වරයා භාවිත කළ ජංගම දුරකථනය මගින් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

ඔහු ඇසුරු කළ හා දුරකථන සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ට මේ වනවිට විවිධ පුද්ගලයින්ගේ දුරකථන අංක හා ඔවුන් ලබා දී ඇති ඇමැතුම් රැසක් ඔස්සේද සිය පරීක්ෂණ සිදු කරති.

මේ වනවිට කෑගල්ලට පැමිණි සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය හා ‍පොලිස් විශේෂ කාර්ය අංශයේ විශේෂ නිලධාරීන් කණ්ඩායම් තුනක් හා කෑගල්ල ‍පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විවිධ පැති ඔස්සේ එම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් සිටී.

මෙම පරීක්ෂණ සඳහා ‍පොලිස් විද්‍යාත්මක පරීක්ෂණ අංශවල සහය මෙන්ම ප්‍රදේශයේ මහජනතාවගේ සහයද ලබා ගන්නා ලෙසත් ‍පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පරීක්ෂණ සිදුකරන නිලධාරීන්ට නියෝග කොට ඇත.
ඉකුත් 11 වන දින කොළඹ ගොස් ඇති දිවිනසා ගත් සාජන් මේජර්වරයා යළි නිවසට පැමිණ ඇත්තේ ගෙල වැලලාගෙන මියයෑමට කලින් දිනයේ රාත්‍රී 7.00ට පමණය. ඔහු කොළඹ ගොස් නැවතී සිටි ස්ථාන හා හමු වූ පුද්ගලයින් පිළිබඳ පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමුව ඇති අතර එම දින කිහිපය තුළ ඔහු ගත් හා ඔහුට ලැබුණු දුරකථන අංක පිළිබඳව මේ වනවිට තොරතුරු අනාවරණය කර ගනිමින් සිටින බව පරීක්ෂණ සිදු කරමින් සිටින නිලධාරියෙක් පැවැසීය.
මියගිය සාජන් මේජර්වරයාගේ අවසන් කටයුතු පුවක්පිටිය ‍පොදු සුසාන භූමියේදී පෙරේදා (16) සිදුකොට ඇති අතර කෑගල්ල මහ රෝහ‍ලේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදීද මියගිය අයගේ පුතු වන අසිත ලක්මාල් ජයමාන්න (21) ලබා දී ඇති සාක්ෂිය සම්බන්ධයෙන්ද පරීක්ෂණ කණ්ඩායම්වල අවධානය යොමු වී තිබේ.

අරණායක - ප්‍රදීප් කුමාර ධර්මරත්න