ලෝකයේ ස්ත්‍රී දූෂකයන්ට ලැබෙන දඬුවම්

ස්ත්‍රී දූෂකයන්ට දෙනු ලබන දඬුවම් පිළිබඳව ලෝකයේ විවිධ රටවල් අනුගමනය කරනු ලබන්නේ විවිධ ක්‍රියා පිළිවෙත්ය.

ඒ බව මේ සටහනෙන් ඔබට තව දුරටත් පැහැදිලි වනු ඇත.දොළොස් හැවිරිදි දැරියක වසරක් තිස්සේ කෙළෙසීමේ වරදට ඉන්දියාවේ තිස්හත් හැවිරිදි පූජකයෙකුට වසර හතළිහක සිරදඬුවමක් හා ඉන්දීය රුපියල් 20,000ක දඩයක් නියම වූයේ පසුගිය ජාත්‍යන්තර කාන්තා දිනයට දින කිහිපයකට පෙරය. විනිසුරුවරයා පවසා තිබුණේ පල්ලිය තුළදීම කළ මේ අතවරයට දියහැකි උපරිම දඬුවම ලබා දිය යුතු බවයි. මේ තැනැත්තාට මෙවැනි තවත් චෝදනා ඇති බව කියවෙන වෙනත් මාධ්‍ය වාර්තා රැසක්ද විය.

ස්ත්‍රී දූෂකයෙකුට ඉන්දියාවේ ලැබෙන දඬුවම දිවි ඇති තෙක් සිරගත කිරීම වුවත් සිරකරුගේ කල්ක්‍රියාව මත එම කාලය වසර දාහතරකින් පමණ නිම වන බව කියවේ. එහෙත් බරපතළ ස්ත්‍රී දූෂණ චෝදනා සඳහා මරණ දඬුවම නියම කළ අවස්ථාද ඇත.
සැප්තැම්බර් 26 වෙනිදා ඉන්දියාවේ ස්ත්‍රී දූෂකයෙකුට නියම කළ මරණ දඬුවම අභියාචනයක් මගින් වසර හතක සිර දඬුවමක් බවට පෙරළීම බොහෝ දෙනාගේ නොසතුටට හේතුවී තිබුණි. 2011 දී එම දූෂකයා ගමන් කරන දුම්රියක කාන්තා මැදිරියේ තනිව සිටි යුවතියක ඉන් බිමට තල්ලු කර අසල වනයට ගෙන ගොස් දූෂණය කර මරා දමා තිබුණි. විසිතුන් හැවිරිදි මේ කෲරතරයා තවත් මාස කිහිපයකින් නිදහස් වන හෙයින් දඬුවම ප්‍රමාණවත් නොවන බවටයි විවේචන එල්ල වන්නේ.

පසුගිය කාලයේ ගෝතමාලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අණදෙන නිලධාරීන් දෙදෙනෙකුට වසර 360ක සිර දඬුවමක් නියම කළේ 1980 දශකයේ ස්වදේශික කාන්තාවන් දූෂණය කිරීම, ඔවුන් ලිංගික වහල්කමේ යෙදවීම හා මනුෂ්‍ය ඝාතන යන චෝදනාවන්ටය. දශක ගණනාවකට පසුව වුවත් එම චෝදනා ඔප්පු වී තිබුණි. චූදිතයන් විසින් සැමියන් අත්අඩංගුවට ගෙන හා මරා දමා ‘සේපර් සර්කෝ’ කඳවුරෙහි සියලු බැලමෙහෙකරම් ගනිමින් මේ කතුන් ලිංගික හිංසනයන්ට පත් කෙරුණු අයුරු විස්තර කෙරුණු සාක්ෂි, වාර්තා කළ නොහැකි තරම් ජුගුප්සාජනක බව බිබිසී මාධ්‍ය සඳහන්කර තිබුණි.

මේ හැර ලොව විවිධ රටවල ස්ත්‍රී දූෂකයන්ට ලබා දෙන දඬුවම් විවිධාකාරය. සිදු කරන ලද ක්‍රියාවේ බරපතළකම හා කෲරත්වය අනුව චූදිතයාට වසර 15-30 කාලයක් සිර දඬුවම් නියම කිරීම ප්‍රංශයේ සිදු කෙරේ.
මැදපෙරදිග රටවල නම් මේ සඳහා ප්‍රකටම දඬුවම් වන්නේ ප්‍රසිද්ධියේ ගෙළ සිඳීම හා ගල් ගසා මරා දැමීමයි. සවුදි අරාබියේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා ද මේ දඬුවම ලබාදේ. ඉරානයේ හා ඊජිප්තුවේ ස්ත්‍රී දූෂකයන් එල්ලා මැරීම සිදු කරනු ලබයි. ඉරානයේ ප්‍රමුඛතාව දෙන්නේ දූෂණයට ලක්වූ තැනැත්තියගේ සාක්ෂියටයි. ඊශ්‍රායලයේ කවර ආකාරයේ වුව ලිංගික හිංසනයක් සඳහා ලබා දෙන්නේ වසර 16ක හෝ ජීවිතාන්තය දක්වා හෝ සිරගත කිරීමයි.ලොව දරුණුතම දඬුවම් ලබාදීමට නම්දරා ඇති උතුරු කොරියාවේ මෙවන් වැරදිකරුවන් මරා දැමේ. එය සිදු කෙරෙන්නේ කණ්ඩායමක් විසින් එල්ල කරනු ලබන වෙඩි වරුසාවකිනි.ඇෆ්ගනිස්ථානය ස්ත්‍රී දූෂකයන්ට ඉතා ඉක්මනින් දඬුවම් ලබා දෙන රටක් බව පෙනේ. චෝදනා ලබා දින 4ක් තුළ අපරාධකරුගේ හිසට වෙඩි තබා මරාදැමීම ඔවුහු සිදුකරති.

ස්ත්‍රී දූෂණ වරදට වසර 3-20 දක්වා දඬුවම් ලබා දෙන රටකි රුසියාව. එහෙත් දඬුවම වසර 20ක් වන්නේ ඉතා කලාතුරකින් බව පැවැසේ. අමෙරිකාව මේ වරදකරුවන්ට කරන්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබාදීමයි. නෝර්වේහි නම් සිරගත කෙරෙන කාලය වසර 4-15 දක්වා කාලයකි. ලොව අන් රටවලට වඩා මෙහි සුව පහසු තත්ත්වයේ සිර මැදිරි ඇති බව පැවසෙන හෙයින් එය දඬුවමක්දැයි සිතේ.

චීනය ස්ත්‍රී දූෂණය ඇතුළු වැරදි රැසකට මරණ දඬුවම ලබා දීමට නොපැකිලෙන රටකි. එහෙත් ඉක්මන්වී දඬුවම් ලබා දුන් අවස්ථා කිහිපයකදීම නිවැරදිකරුවන් දඬුවමට ලක්ව ඇතැයි පසුව හෙළිවූ ශෝචනීය අවස්ථා පිළිබඳ වාර්තා ද චීනය සතුය.

එරට ස්ත්‍රී දූෂකයන්ට ලබා දෙන තවත් දඬුවමක් වන්නේ වෘෂණකෝෂ ඉවත් කිරීමයි. ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම නවතා දමා බෙලහීන බවක් ඇති කිරීම මෙහි අරමුණවේ. ලොව ඇතැම් රටෙක මේ දඬුවම ලබා දුන්නත් එය මතභේදයට හේතුවී ඇත. ඒ එම හෝමෝනය සිරුරේ වකුගඩු වලට ඉහළින් ඇති කොටස් තුළද නිපදවෙන බැවිනි. එනිසා මේ ක්‍රමයෙන් 100ක් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබි යාමට ඉඩ ඇත. ෆ්ලොරිඩාවේ ස්ත්‍රී දූෂකයන්ට සිරගත වීම හා වෘෂණ ඉවත්කිරීම යන දඬුවම් දෙකෙන් කැමැති එකක් තෝරා ගැනීමට අවස්ථාව හිමිවේ.

මේ කවර දඬුවම් ලබා දුන්නත් මේ කිසිදු රටක කාම අපරාධවල අඩුවීමක් දැකිය නොහැක. ඇතැම් අවස්ථාවල ආගමේ නාමයෙන් පිරිමින් නිවැරදිකරුවන් වන අතර කාන්තාවම වැරදිකාරියවේ. සෝමාලියාවේ අවුරුදු දහතුනක දැරියක් ප්‍රේක්ෂකාගාරයක ගෙළ තෙක් වළ දමා මිනිසුන් 50ක් විසින් ගල් ගසා මරා දමනු ලැබ තිබුණේ දහසක් දෙනා බලා සිටියදීය. එහෙත් ශෝචනීය සිද්ධිය එය නොවේ. මේ දැරිය තිදෙනෙකු විසින් දූෂණය කර ඇති අතර ඇය අල්ලා ගනු ලැබ ඇත්තේ නගරයේ පාලන අයිතිය තිබූ හමුදාවන්ට ඒ බව පැමිණිලි කිරීමට යෑමේදීය. ඒ බව අනාවරණය වන විට ඉතිරිව තිබුණේ ප්‍රාණය නිරුද්ධ ඇගේ සිරුර පමණි.

ජපානය විසින් තම භටයන් වෙනුවෙන් ‘සුව නාරීන්’ නමින් ලිංගික වහල්කමේ යොදවන ලද කොරියාව, පිලිපීනය, ඉන්දුනීසියාව වැනි රටවල කාන්තාවෝ තම ජීවිතයේ අග්ගිස්සේ හිඳිමින් තවමත් සාධාරණය යදිති. ඇතැම් රටවල රාජ්‍ය නායකයන් වැනි ප්‍රබල තැනැත්තන් පවා ලිංගික අවකල් ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ තනතුරුවලින් ඉල්ලා අස්වූ හා නීතිය හමුවට පැමිණ වූ අවස්ථා ඇත. එහෙත් එම රටවල් අතර ශ්‍රී ලංකාවේ නම නම් මේ ලියන මොහොත වෙද්දීත් සොයා ගත නොහැකි විය.

අමෙරිකානු පුණ්‍යායතනයක් විසින් සිදු කෙරුණු සමීක්ෂණයකට අනුව එරට ස්ත්‍රී දූෂණයන්ගෙන් පැමිණිලි ඉදිරිපත් වෙන්නේ 4ට 1කි. 97කටම දඬුවම් හිමි නොවේ. අප රටේ වුවත් තත්ත්වයේ එතරම් වෙනසක් නොවීමට ඉඩ ඇත. සිදුවූ කායික හිංසනයට අමතරව පවුලෙන් හා සමාජයෙන් අපමණ මානසික පීඩාවක් විඳීමට කාන්තාවට සිදුවන අවස්ථා අපමණය. ස්ත්‍රී දූෂකයන්ට කවර දඬුවමක් දුන්නත් ඒ රිදුම් සමනය නොවනු ඇත. නව නීති කෙසේ සැකසුණත් කාන්තාවන් හා ඇගේ සමීපතමයන් මේ සියල්ල රහසිගතව තබා ගැනීමට හේතු වන තවත් බොහෝ සමාජ කාරණා හා ආකල්ප තිබේ.

පිරිසක් මේ සම්බන්ධ වැරදි සඳහා මරණ දඬුවම ඉල්ලද්දි තවත් පිරිසක් මරණ දඬුවම එපා යැයි කෑගසති. 

මෙවන් උභතෝකෝටික ගැටලු සහිත පසුබිමක කාන්තාවන් කෙසේ සුරැකෙනු ඇද්ද? නොයෙකුත් සැමරුම් දිනවල ආරාධිත දේශපාලකයින්ට නම් කයිවාරු ගැසීමට ඕනෑ තරම් කරුණු තිබේ. මෙතුවක් පැවැති එවන් දිනයන්හි තේමා පාඨ දෙස බැලූ විට නම් කාන්තාවන්ට හා දරුවන්ට මේ වන විට කිසිදු ප්‍රශ්නයක් ඉතිරිවීමට ඉඩක් නැත. පන්සිල් රකින හිරි ඔතප් සහිත සමාජයක් ස්ථාපිත කර උත්තරීතර මාතෘත්වය සුරැකිය හැකි නම් සෑම දෙනාගේම හෙට දවස වඩා සුන්දර වනු නිසැකය.

අන්තර්ජාලය ඇසුරිනි

ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී