පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා නොව ශිෂ්‍යාධාර ලබාදීම සඳහා පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සකසමින් පවතින බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (13) නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසූයේ නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවැති ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 132 වන ජන්ම දින සැමරුම් උත්සව සභාව අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය අද තරගයක් වී දරුවන්ට පීඩා දෙමින් ඔවුන්ගේ ළමා කාලය උදුරාගනු ලබන අම්මාවරුන්ගේ විභාගයක් බවට පත්වෙලා. මේ තත්ත්වය වහා නැති කළ යුතුයි. ලෝකය ඉදිරියට යන වේගයට අපේ දරුවන් එක තැන පල්විය යුතු නෑ. අපි අපේ පාසල් 10161 න් හත්දහසක්ම ළඟම පාසල හොඳම පාසල ලෙස සෑම අංශයකින්ම සංවර්ධනය කොට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට පියවර ගන්නවා. භෞතික සම්පත් මෙන්ම මානව සම්පත්ද සංවර්ධනය කරනවා. ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ අවශ්‍ය අයට පුහුණුව ලබා දෙනවා. ගුරු පුරප්පාඩු සියල්ල පිරවීමට පියවර ගන්නවා. තාක්ෂණික දියුණුව දැනුම කෙරෙහි අවධානය යොමු කරමින් විෂය මාලාවන් වෙනස් කිරීමට කටයුතු කරනවා. පාසල් පාදක කොට ගුරුවරු බඳවා ගැනීමට පියවරගෙන ගුරුවරු පීඩාවට පත්වන එක හැකිතාක් අවම කරනවා. ‍ෙම් රටේ ලක්ෂ 42ක් පමණ වන පාසල් දරුවන්ගේ අනාගතය මේ රටේ ඉදිරි අනාගතය කියන්නේ සුළු පටු දෙයක් නොවේ යැයිද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාවට තැපැල් හා මුස්ලිම් කටයුතු ඇමැති එච්. එම්. හලීම්, පළාත් මාර්ග හා විදුලිබල ඇමැති එදිරිවීර වීරවර්ධන, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අශෝක දංගොල්ල, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, විදුහල්පතිතුමා ඇතුළු මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගි වූහ.