පැයකට රු. 3000ක්‌ හොයලා

හොඳින් ඇඳ පැළඳ කුඩා අත දරුවන් වඩාගෙන මීගමුව නගරයේ මාර්ග සංඥා කණු අසල රැඳී සිට වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගෙන් සිඟමන් යෑදීමේ වෘත්තියේ යෙදී සිටි තරුණ කාන්තාවන් තිදෙනකුට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවවාද කර කාන්තාවකට රුපියල් ලක්‌ෂය බැගින්වූ ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කළේය.

වර්ණ සංඥ අසල තාවකාලිකව නවතා තැබෙන වාහනවලින් සිඟමන් යෑදීමේ සිට අත්අඩංගුවට ගත් එම කාන්තාවන් මහවැව ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.
එක්‌ කාන්තාවකගේ සැමියා මසකට රුපියල් 30,000 ක වැටුපක්‌ ලබන රැකියාවක නිරතව සිටින බව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් (4818) හෂීම් මහත්මිය අධිකරණය හමුවේ පැවසුවාය.

පොලිසිය විසින් එම කාන්තාවන් තිදෙනා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට පැයක පමණ කාලයක්‌ තුළ රුපියල් 3000 ක සිඟමන් ලැබී ඇත. එම කාන්තාවන්ගේ දරුවන් පිළිබඳව පරිවාස වාර්තා කැඳවීමට අධිකරණය නියෝග කළේය. සැරයන් (4818) හෂීම් සහ සැරයන් (49241) ජිනදාස යන මහත්ම මහත්මීහු පැමිණිල්ල මෙහෙයවූහ. වැඩිදුර විභාගය නොවැම්බර් මස 17 වැනි දින පැවැත්වේ.