ලංකාවේ ලක්‍ෂ 23ක් මානසික ලෙඩ්ඩු

විශාදය නමැති රෝගී තත්ත්වයට ගොදුරු වූවන්ගෙන් සියයට 15ත් 20ත් අතර සංඛ්‍යාවක් සියදිවි හානි කර ගැනීමට පෙලඹෙන බවත් දරු ප්‍රසූතියෙන් පසු කාන්තාවන්ට විශාදය ඇතිවිය හැකි බවත් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රමණී රත්නවීර මහත්මිය පවසන්නීය.

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහත්මිය මෙසේ පැවැසුවාය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව ලෝකයේ සෑම හතර දෙනකුගෙන් කෙනකු ජීවිතේ කුමන අවස්ථාවක හෝ මානසික ව්‍යාකූලතාවකට මුහුණ දෙන බව සොයාගෙන තිබෙනවා. ලෝකය පුරා මිලියන 450ක් පමණ පිරිසක් මානසික ව්‍යාකූලත්වය ආශ්‍රිත රෝගවලට මුහුණ දෙනවා. විශාදය නමැති රෝග තත්ත්වය බොහෝ දෙනා අතර බහුලව දක්නට ලැබෙනවා. 

ඕනෑම පස් දෙනෙකුගෙන් එක් අයකු සිය ජීවිත කාලය තුළදී විශාදය නම් වූ රෝගයට ගොදුරු වී තිබෙනවා. ලෝකයේ මිලියන 350ක පමණ පිරිසක් විශාදය නමැති රෝග තත්ත්වයෙන් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත පෙන්වා දෙනවා. සියදිවි නසා ගැනීමෙන් ලෝකයේ හතරවැනි ස්ථානයට පත්ව තිබූ ශ්‍රී ලංකාව වර්තමානයේ විසි දෙවැනි තැන දක්වා පහළ ගොස් තිබෙනවා. ඊට ප්‍රධානම හේතුවට කෘමි නාශක සහ වල් නාශකවලට රජයෙන් කිසියම් වාරණයක් දමා තිබීම වගේම මානසික වෛද්‍යවරුන්ගේ දැනුවත් කිරීම්ද මෙයට බලපා තිබෙනවා.

මෙරට ජනගහනයෙන් 10% පමණ මානසික ව්‍යාකූලතා තියෙනවා. මිලියන දෙකයි දශම තුනක පමණ ප්‍රමාණයක් මානසිකව ප්‍රතිකාර ලැබිය යුතු ජනතාවක් සිටින බව දේශීය දත්ත විශ්ලේෂණයේදී පෙනී යනවා. පසුගිය කාලයට වඩා මේ කාලයේදී මානසික ව්‍යාකූලතාවට පත්වූවන්ගේ වාර්තා වීම වැඩිවී තිබෙනවා.
එනමුත් ලංකාවේ ප්‍රතිකාර ලැබිය යුතු මට්ටමේ සිටින රෝගීන්ගෙන් සියයකට විස්සක් පමණ තමයි මානසික වෛද්‍යවරුන් හමුවීමට පැමිණෙන්නේ. රෝගීන් පැකිළීමක් දක්වනවා මානසික වෛද්‍යවරුන් හමුවීමට. නොයෙක් අඩන්තේට්ටම්වලට ලක්වෙයි යන හැඟීම එකී රෝගීන්ට තියෙනවා. කාන්සාව, මානසික ආතතිය, පීඩනය, භින්නෝන්මාදය, මේනියාව වැනි රෝග තත්ත්වයන්ද සමාජය තුළ දක්නට ලැබෙනවා' යැයි ඒ මහත්මිය වැඩිදුරටත් කීවාය.