මහජන බැංකු හොරකමේ තවත් සුලමුල ජවිපෙ හෙළි කරයි

රුපියල් කෝටි 60ක් වැය කරමින් මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ වංචාවට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙයි.

අදාළ පැමිණිල්ල ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 150කට ආසන්න මුදලක් වැය වන අතර දැනටමත් කෝටි 60කට අධික මුදලක් ගෙවා ඇති බවත් එය සිදු කර ඇත්තේ මහජන බැංකුවේ හෝ බැංකුකරුවාගේත් බැංකුවේ අනාගතයේත් අවශ්‍යතාව සොයා බලා නොමැතිව බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.
ඔහු පෙන්වා දෙන්නේ 2012 වසරේදී ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රුපියල් මිලියන 200ක බැඳුම්කරයක් රාජසන්තක කිරීමේ සිද්ධියට සම්බන්ධ ගැනුම්කරුවකු මේ මහජන බැංකුවේ වංචාවටද හවුල්ව ඇති බවත් මෙහි කොන්ත්‍රාත් ඔහුට අත යටින් ලබාදීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත්ය.

අදාළ ගැනුම්කරුවා 2012දී පියෝ ටීවී ආයතනයට බදු පෙන්වා මිලියන 200 මුදලකට අත පොවා ඇති අතර අවසානයේදී එම භාණ්ඩ රේගුවෙන් නිදහස් කර ගැනීමටවත් එම පුද්ගලයා මැදිහත් නොවූ බවත් පෙන්වා දෙන සමරසිංහ මහතා පැවැසුවේ ටෙලිකොම් ආයතනයේ බැඳුම්කර රාජසන්තක වූ පසු එම පුද්ගලයාම ඩීල් දමා තමන්ගේ මුදල් ටෙලිකොම් ආයතනයෙන් ලබා ගෙන ඇති බවයි.

සමරසිංහ මහතා පවසන පරිදි එම ගනුදෙනුවෙන් ටෙලිකොම් සමාගමට මිලියන 200ක් පාඩු වූවා පමණක් නොව එදා ආණ්ඩුව තම ගැනුම්කරුවාට මුදල් ලබා දී ඇති බවත් වත්මන් ආණ්ඩුවද ඔහුටම මහජන බංකු ඩිජිටල්කරණය පිළිබඳ කොන්ත්‍රාත් ටික අත යටින් ලබාදී ඇති බවත්ය.
කිසිදු සමාලෝචනයක් නොකර මෙවන් ව්‍යාපෘතියකට මෙපමණ විශාල මුදලක් වැය කරන්නේ මන්දැයි හෙතෙම ප්‍රශ්න කෙළේය.