නාමල්ගේ රථය තීරුබදු බලපත්‍ර මගින් ගේන්න බෑ

මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතාට අයත් යැයි කියූ මෝටර් රථය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන තීරුබදු රහිත බලපත්‍රය මගින් ගෙන්විය නොහැකි බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඊයේ (07දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

එමෙන්ම මෙම මෝටර් රථය නැවත විකුණා ඇති පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමේදී නාමල් රාජපක්ෂ මහතා ගනුදෙනු කර ඇති පුද්ගලයන් පිළිබඳ කරුණු ආනාවරණය කර ගත හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

"ඉස්සරලාම හොයලා බලන්න ඕන මේ ගැනුම්කරු කවුද කියලා. ඉන් පසු ගැනුම්කරුගේ පියා කවුද කියලා සොයා ගත යුතුයි. එතකොට මේ ගනුදෙනුවේ ඉතිරි කොටස් ටික හොයාගන්න පුළුවන්. මේ අය වැඩකරලා තියෙන්නේ කා සමගද කියලා. මේ වාහනයේ වෙළෙඳ වටිනාකම කොහොම වුණත් මේකට බදු මුදල විතරක් තියෙනවා කෝටි එකහමාරක් විතර. ඒවා ගෙවලා නැහැ. බදු මුදලේ වාසියත් මේ විකුණපු පුද්ගලයාට ලැබුණද දන්නේ නැහැ.

මේ වාහනය ගෙනාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන තීරුබදු රහිත බලපත්‍රය යටතේ යැයි ඔහුගේ නීතිඥයන් පැවසූ බව මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා පැවසූයේ "මේ වාහනය ගේන්න බැහැ ඒ බලපත්‍රය යටතේ. ඒකට සීමාවක් තියෙනවා. ඩොලර් 50,000ක් වන සීමාවක් අපිට නැහැ. මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි මේ අරගෙන තියෙන්නේ. ප්‍රධානම මුල්‍ය වංචා පිළිබඳ පරීක්ෂණ කොමිසම තමයි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නේ." යැයි අමාත්‍යවරයා කීය.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට 2010 වර්ෂයේදී ලැබුණු තීරුබදු රහිත වාහන බලපත්‍රය මගින් මෙම ෆෝර්ඩ් මස්ටෑන් මෝටර් රථය මිලදී ගත්බවත් පසුව එය ව්‍යාපාරිකයෙකුට විකුණූ බවද නාමල් රාජපක්ෂ මහතාගේ නීතිඥවරයෙක් පැවසීය.