උපුල් තරංග හෙට තරගයට ?

පරාජිත තරගමාලාවක යම් ගෞරවයක් අත්කර ගැනීමේ අවසන් උත්සාහයක යෙදෙමින් ශ්‍රී ලංකාව හෙට පල්ලෙකැලේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පස්වැනි හා අවසාන ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට මුහුණ දෙයි.

දෙපිල අතර තරග පහකින් සමන්විත එක්දින තරගමාලාව ඔස්ට්‍රේලියාව දැනටමත් 3 – 1කින් ජය ගෙන සිටී. දිනේෂ් චන්දිමාල් හෙට තරගයේදී ශ්‍රී ලංකාවට නායකත්වය දෙනු ඇත.

ඔස්ට්‍රේලියාවට එරෙහිව දඹුල්ලේ පැවැති සිවුවැනි එක්දින තරගයේදී පාදයේ ආබාධයට ලක්වූ ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට උපුල් තරංග හෙට තරගය සඳහා කණ්ඩායමට ඇතුළත් කිරීමට ඉඩ තිබෙන අතර ඔහු ධනංජය ද සිල්වා සමග ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරනු ඇත.

උපුල් තරංගගේ පැමිණීමත් සමග අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවතට යනු ඇත. දඹුල්ලේ සිවුවැනි තරගයේ මංගල ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග වරම් ලැබූ 18 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු ට ලකුණු ලබා ගැනීමට හැකිවූයේ නැත. ඔහු මුහුණ දුන්නේ පන්දු 2කට පමණි.

තිසර පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ක්‍රීඩා කරනු ඇත. මීට අමතරව ලක්ෂාන් සඳකැන් වෙනුවට නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුළත් කර තිබේ. පල්ලෙකැලේ‍ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට යළි ක්‍රිකට් ක්‍රීඩාව පැමිණීමත් සමග කුසල් මෙන්ඩිස්ගේ පිතිහරඹය ක්‍රීඩා ලෝලීන්ගේ මතකයට එයි. ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ කරමින් පල්ලෙකැලේදී පැවැති පළමු ටෙස්ට් තරගය උඩුයටිකුරු කරමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කළේ ලකුණු 176ක් ලබා ගත් මෙන්ඩිස් ය. වේගයෙන් ලකුණු රැස් කිරීමට කැමැත්තක් දක්වන කුසල් මෙන්ඩිස්ගේ පිත්ත හෙටත් ක්‍රියාත්මක වුවහොත් එය ශ්‍රී ලංකාවට ලොකු මුළු ලකුණු සංඛ්‍යාවක් කරා යාමට සැපයෙන සවිමත් අඩිතාලමක් වනු ඇත.

මේ තරගමාලාවේ මෙතෙක් පැවැති තරගවලදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දීමට මුල් පෙල පිතිකරුවෝ අසමත් වූහ. හෙට තරගයේදී හෝ ඔවුන්ගෙන් සටන්කාමී පිතිහරඹයක් ශ්‍රී ලංකා කඳවුර බලාපොරොත්තු වෙයි. ඔස්ට්‍රේලියානුවන් හෙට තරගයට පිවිසින්නේ ජයග්‍රාහී බලාපොරොත්තු පොදි බැඳගෙනය. එය හෙටින් නතර නොවී ලබන 6 වැනිදා පල්ලෙකැලෙන් ආරම්භ වන තරග දෙකකින් සමන්විත ජාත්‍යන්තර විස්සයි20 තරගමාලාව දක්වා දිවෙනු ඇත. මේ අතර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ජෝස් හේල්ස්වුඩ් වහාම යළි සියරට යනු ඇත. ඔස්ට්‍රේලියාව දැනටමත් එක්දින තරග මාලාව ජයගෙන ඇති බැවින්ද ඉන් පසුව පැවැත්වෙන විස්සයි20 සංචිතයට ඔහු නම් කර නැති බැවින් හේස්ල්වුඩ් යළි ඔස්ට්‍රේලියාවට යනු ඇත.

පල්ලෙකැලෙන් හෙට යළි ජයග්‍රාහී ගමනක් ආරම්භ කර එය කොළඹින් විස්සයි20 තරගමාලාවකින් සැප්තැම්බර් 9 වැනිදා අවසන් කරනු ඇතැයි යන්න ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රජාවගේ අපේක්ෂාව වී තිබේ. එවිට එය ශ්‍රී ලංකාව ටෙස්ට් තරගමාලා ජයග්‍රහණයකින් ආරම්භ කර විස්සයි20 තරගමාලා ජයග්‍රහණයකින් අවසන් කළ ඔස්ට්‍රේලියානු තරග සංචාරයක් ලෙසින් සටහන් වනු ඇත.