සියලු වෙබ් අඩවි ලියාපදිංචිය අනිවාර්යයි - නැත්නම් බ්ලොක් කරයි?

සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදුලි සංදේශ කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී සියලු වෙබ් අඩවි කොමිසමේ ලියාපදිංචි වීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

දැනට පවත්වාගෙන යන වෙබ් අඩවි ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම්ය. ආයතන, අමාත්‍යාංශ, පෞද්ගලික ආයතන ඇතුළු පෞද්ගලික මට්ටමේ වෙබ් අඩවි දස දහස් ගණනක් දැනට පවත්වා ගෙන යයි.

ඇතැම් වෙබ් අඩවි මාධ්‍ය නිදහස අයථා ලෙස යොදා ගෙන ඇති බවට පැමිණිලි විශාල සංඛ්‍යාවක් විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී තිබෙන බව මෙහිදී අනාවරණ වී ඇත.

මෙම තත්ත්වයන් වැලැක්වීමට සුදුසු පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර වෙබ් අඩවි නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද උපදෙස් දී ඇත.

විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි නොවන වෙබ් අඩවි අවහිර කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද මෙහිදී ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇතැයි වාර්තා වේ.