ඒකාබද්ධ විපක්‍ෂයට තවත් පක්‌ෂ 7ක්‌

ඒකාබද්ධ විපක්‍ෂය ප්‍රධානත්වයෙන් ගොඩනඟන ආණ්‌ඩු විරෝධී ජනතා බලවේගය සමග එක්‌ව ඉදිරියේදී කටයුතු කිරීමට තවත් දේශපාලන පක්‍ෂ 7 කට වැඩි ප්‍රමාණයක්‌ එකඟතාව පළකර තිබේ.

හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පසුගිය දිනවල එම පක්‍ෂ ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇත.

ඒ අනුව මෙතෙක්‌ ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය නොකළ ලිබරල් පක්‍ෂය, කඳුරට ජනතා පෙරමුණ, එක්‌සත් ලංකා පොදුජන පක්‍ෂය, ශ්‍රී ලංකා හරිත පක්‍ෂය, එක්‌සත් ලංකා මහා සභාව, ප්‍රගතිශීලී පෙරමුණ හා මුස්‌ලිම් ඔලමා පක්‍ෂය මෙලෙස එකඟතාවට පැමිණි පක්‍ෂ අතර වන බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයෙක්‌ පැවැසීය.

ජාතික පක්‍ෂ එකමුතුව ලෙස අලුතෙන් මෙම පක්‍ෂ ආණ්‌ඩු විරෝධී ජනතා බලවේගය සමග එක්‌වන බවත් ඉදිරියේදී සති දෙකකට වරක්‌ හමුවී ඉදිරි වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට එකඟ වූ බවත් හෙතෙම කියා සිටියේය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියේදී නව බලවේගය ගොඩනැංවීමට කැපවීමටද එකඟවූ බව එම නියෝජිතයා කීය.

ආණ්‌ඩු විරෝධී නව ජන බලවේගය සඳහා සිවිල් සංවිධාන රැසක්‌ද එක්‌වීමට කැමැත්ත පළකර ඇති නිසා හිටපු ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඉදිරියේදී එම සංවිධාන සමගද සාකච්ඡා පවත්වන බව හෙතෙම සඳහන් කළේය.