දයා ගමගේ ගල්ඔය වැලි කොල්ලයක

ශ‍්‍රී ලංකාවේ විශාලතම ස්වාභාවික වැලි නිධිය සහිත ගල්ඔය ගඟේ වැලි ගොඩ දැමීම සඳහා නියමිත ක‍්‍රමවේදයෙන් බැහැරව සිය දේශපාලන හිතවතුන්ට බලපත‍්‍ර ලබා දීමට ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා කටයුතු කර තිබේ.

ගල්ඔයෙහි වැලි ගොඩ දැමීම සඳහා මෙතෙක් කාලයක් බලපත‍්‍ර නිකුත් කෙරුණේ දිස්ත‍්‍රික් ලේකම්, අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය ලේකම්, වාරිමාර්ග අධ්‍යක්ෂ, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය යන ආයතනවල ප‍්‍රධානීන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසිනි.

වැලි ගොඩ දැමීම සඳහා බලපත‍්‍ර නිකුත් කෙරුණේ ද ඉතා සීමිත ප‍්‍රමාණයකි. යන්ත‍්‍රානුසාරයෙන් වැලි ගොඩ දැමීමත්, ගංගා ඉවුරු බිඳ ගංගා නිම්නයට රථ වාහන ඇතුළු කිරීමත් මෙකී කමිටුව විසින් තහනම් කර තිබිණි.

ගල්ඔය ගංගාවේ වැලි නිධිය ඉවත් කිරීම සඳහා මෙසේ නීති පනවා තිබුණේ ගල්ඔය ව්‍යාපාරය යටතේ උක් වගා කිරීම සඳහා ලබා දී ඇති ඉඩම් ඛාදනය වීම වැළැක්වීම සඳහාය. දැඩි නීති රීති පනවා ගල්ඔය ගංගාව සහ නිම්නය රැකගැනීමට රාජ්‍ය ආයතන ක‍්‍රියා කරමින් තිබුණත් ඒ සියල්ලම පසෙක දමා අමාත්‍ය දයා ගමගේ මහතාගේ දේශපාලන හිතවතුන්ට ගල් ඔයෙහි වැලි ගොඩ දැමීම සඳහා බලපත‍්‍ර ලබා දීමට ක‍්‍රියා කර ඇත. 2016.08.17 දාතමින් ඊට සම්බන්ධ ලිපියක් අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට හා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට යොමුකර ඇති අතර එහි පුද්ගලයන් 16 දෙනකුගේ නම් සඳහන්ය.

මීට අමතරව නැගෙනහිර පළාත් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී මංජුල ප‍්‍රනාන්දු මහතාට වැලි ගොඩ දැමීම සඳහා බලපත‍්‍ර 10 ක් මේ වන විටත් නිකුත් කර ඇත. දයා ගමගේ මහතා නම් කරන ලද පුද්ගලයන් 16 දෙනකුගේ නම් ඇතුළත් ලැයිස්තුවට වැලි ගොඩ දැමීම සඳහා බලපත‍්‍ර ලබා දීම, සම්බන්ධීකරණය කිරීම භාර දී ඇත්තේ ද පළාත් සභා මන්ත‍්‍රී මංජුල ප‍්‍රනාන්දු මහතාටය.

මේ නව බලපත‍්‍ර ලබා දීමත් සමඟ ගල්ඔයේ පාරම්පරිකව වැලි ගොඩ දැමූ පුද්ගලයන් සියලූ දෙනාගේම බලපත‍්‍ර අහෝසි කිරීමට ද අමාත්‍යවරයා කටයුතු කර ඇත.

- දයා නෙත්තසිංහ