මෙය අපේ විශිෂ්ටතම ටෙස්‌ට්‌ ජයග්‍රහණයයි

වසර 34 කට අධික ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ වංශ කතාවේ මෙතෙක්‌ ලබා ඇති ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණ අතුරින් විශිෂ්ටතම තරගාවලි ජයග්‍රහණය ලෙස ඔස්‌ටේ්‍රලියාවට එරෙහිව ඉකුත්දා ලද ටෙස්‌ට්‌ තරගාවලි ජයග්‍රහණය හැඳින්විය හැකි බව වත්මන් තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය මහතා සඳහන් කර සිටියි.

''අපි මෙතෙක්‌ ලබා තියෙන ජයග්‍රහණවලින් විශිෂ්ටතම තරගාවලි ජයග්‍රහණය මෙයයි. යනුවෙන් සඳහන් කරන ජයසූරිය මහතා කරුණු කීපයක්‌ මුල්කොට ගනිමින් මෙම තරගාවලි ජයග්‍රහණය තමා විශිෂ්ටතම ටෙස්‌ට්‌ තරගාවලි ජය ලෙස හඳුන්වනු ලබන බව සඳහන් කර සිටියේය.

''මේක අහම්බෙන් ලද ජයග්‍රහණයක්‌ නොවෙයි. තණතීරු අපිට වාසි වන විදියට හදලයි කියලා කාටවත් කියන්න බැහැ. අපේ ක්‍රීඩකයන් හොඳින් දක්‌ෂතා දක්‌වලා ලබාගත්ත ජයග්‍රහණයක්‌ මේක. ඒක නිසා කාටවත් මේ තරගාවලි ජයග්‍රහණය අවතක්‌සේරුවෙන් සලකන්න බැහැ''යි ජයසූරිය මහතා පවසයි.

''අවසන් සති කීපය ගැන අවධානය යොමු කරලා බලන්න අපි කොහෙද හිටියේ කියලා. එංගලන්තය සමග පැවැති තරගාවලියේ සියලුම තරග අපි පරාජයට පත් වුණා. එහෙම තියෙද්දී නවක ක්‍රීඩකයන්ගෙන් සමන්විත වූ මෙම කණ්‌ඩායම ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති තරග 2 දී ක්‍රීඩා කළ ආකාරය අති විශිෂ්ටයි. මේ වගේ තත්ත්වයකදී කවදාවත් ශ්‍රී ලංකාව ජයග්‍රහණ ලබා නැහැ'' යෑයි ජයසූරිය මහතා පවසයි.

ගාල්ල පැවැති තරගයේදී නිරන්තරයෙන්ම ක්‍රීඩාංගණ සීමාව අභියසට වී කණ්‌ඩායමේ ජයග්‍රහණය සනාථ වනතෙක්‌ම රැඳී සිටි වත්මන් තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින්, ''මේ කණ්‌ඩායම ඉතාමත් දක්‌ෂ කණ්‌ඩායමක්‌. නමුත් පසුගිය කාලය අපිට ටිකක්‌ අමාරු වුණා. ඔස්‌ටේ්‍රලියාට එරෙහිව තරගාවලියක්‌ ජයග්‍රහණය කරනවා කියන්නේ එය මානසික ඒකාග්‍රතාවය වඩාත් ඉහළ යන්නක්‌. ඒක නිසා හොඳම දේ අවසන් තරග 2 ජයග්‍රහණය අමතක කරලා තෙවැනි තරගය ගැන අවධානය යොමු කරන එකයි. ඒ මොකද කියනවා නම් ඔස්‌ටේ්‍රලියාව කියන්නේ ඕනෑම අවස්‌ථාවක නැවත දක්‌ෂතා අතරට පැමිණිය හැකි කණ්‌ඩායමක්‌ නිසා'' යි සඳහන් 1996 ලෝක කුසලාන තරගාවලියේ වීරයා බවට පත්වූ ජයසූරිය මහතා සඳහන් කරයි.

කණ්‌ඩායමට එක්‌වී සිටින තරුණ ජව පිළිබඳවද සෑහීමකට පත්විය හැකි බව සඳහන් කරන ජයසූරිය මහතා, තේරීම් කටයුතු කිරීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වන බව සඳහන් කර සිටියි.

''පසුගිය වතාවේ මම තේරීම් කමිටු සභාපතිවරයා වෙලා සිටියදී මේ ක්‍රීඩකයන් තිදෙනා ජාතික කණ්‌ඩායම නියෝජනය කරනු ඇති බවට හඳුනාගෙන සිටියා. ඒ වෙන කොට කුසල් අවු. 19 න් පහළ පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහුව වැඩිදුරට පුහුණුව සඳහා එංගලන්තයට යෑව්වා. සඳකැන් නිරන්තයෙන්ම දක්‌ෂතා දක්‌වමින් සිටියා. කොහොම වුණත් මොවුන් දක්‌ෂතා අතරට පැමිණ තිබීම ගැන ගොඩක්‌ සතුටුයි''යි යෑයි ජයසූරිය මහතා සඳහන් කරයි.

මේ අතර කණ්‌ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පසුගිය මාස කීපයේදීම දැඩි අසාර්ථක භාවයට පත්ව සිටින දිමුත් කරුණාරත්න සහ කෞෂාල් සිල්වා ගැන මේ දිනවල වැඩි අවධානයක්‌ යොමු කර සිටින බවද ජයසූරිය මහතා සඳහන් කර සිටියේය.

''ඔවුන් දෙදෙනා තමයි ආරම්භක පිතිකරුවන් ලෙස අපිට සිටින හොඳම දෙදෙනා. නමුත් කණගාටුවට කරුණක්‌ වන්නේ ඔවුන් දෙදෙනාම පසුගිය මාස කීපයේදීම අසාර්ථකත්වයට පත්වීමයි. කොහොම වුණත් මේ ගැන අපි අවධානය යොමු කරලයි තියෙන්නේ''යි ජයසූරිය මහතා සඳහන් කර සිටියි.

කරුණාරත්න සහ කෞෂාල් යුගලය ඔස්‌ටේ්‍රලියාව සමග පැවැති තරග 2 දීම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 10 සීමාව ඉක්‌මවා ලකුණු රැස්‌ කිරීමට අපොහොසත් වී තිබෙන නමුත් තෙවැනි තරගයේදීද ඔවුන්ට අවස්‌ථාවක්‌ හිමිවනු ඇතැයි අපේක්‌ෂා කළ හැක. කෙසේ වෙතත් මේ පිළිබඳව වූ තීරණය ඊයේ සවස්‌ යාමයේදී ගැනීමට නියමිතව තිබෙන බවද සඳහන් විය.