මහින්දගේ කාලේ ළමයෙක් එහෙම කීවා නම්

පාද යාත්‍රාවේ ගෙන ගිය දරුවකු ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අපහාස වන අයුරින් හැසිරවීම එම දරුවා හුරතලයට කරන ලද ක්‍රියාවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසුවද එතුමා ජනාධිපතිවරයාව සිටියදී යම් දරුවකු හුරතලයට සුනාමි හොරා, පක්‍ෂ කඩන්නා, මළ පෙරේතයෝ අපට එපා, නාකි මොටා අපිට එපා කීවා නම් දරුවා තබා දරුවගේ අම්මා, අප්පා සිටින තැනවත් සොයා ගැනීමට නොලැබෙනු ඇතැයි නිපුණතා පුහුණු හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

 විමල් වීරවංශ මන්ත්‍රිවරයා 1000ක් 1500ක් රැගෙනවිත් කොළඹ පෙරළනවා යැයි ගර්ජනා කළත් ඔහු එසේ ආවොත් කොළඹ ජනතාව මේ මනුස්සයාගේ මයිල් ගහක් ගාණේ පතුරු ගසනු ඇතැයි පවසන අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා ඔහු උත්සාහ කරන්නේ 1971 වර්ෂයේ මෙන් මේ රටේ ලේවල පිහිනන යුගයක් යළි ඇති කිරීමටදැයි ප්‍රශ්න කරයි.

පිටකෝට්ටේ සිරිකොත එ.ජා.ප. මූලස්ථානයේදී ඊයේ (4දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ අදහස් ප්‍රකාශ කළ අමාත්‍ය රංගේ බණ්ඩාර මහතා මිලියන 2ක් කොළඹ ගේන බව පවසා එයින් සියයෙන් පංගුවක්වත් ගෙන ඒමට අපොහොසත් වූ ඒකාබද්ධ විපක්‍ෂය පරාජයේ හෙලුව දෑතින් වසා ගැනීමේ අසාර්ථක උත්සාහයක නියැළී සිටින බවත් පෙන්වා දෙයි.