ලංකාවේ ලොකුම ඔරලෝසුව

ලෝකයේ ලොකුම ඔරලෝසුව ඇත්තේ හිරු නොබසින රාජ්‍යයේය. ඒ බිග්බෙන් ඔරලෝසුවයි. නමුත් ශ්‍රී ලංකාවේ ලොකුම ඔරලෝසුව ඇත්තේ දික්වැල්ලේ වැවුරුකන්නල මහා විහාරයේ බව දන්නේ කියෙන් කී දෙනාද.

සුවිශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ පිහිටි නිසා දෙස් - විදෙස් සංචාරකයින්ගේ හා සැදැහැවතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ මෙම පින් බිමෙහි පිහිටි චෛත්‍ය රාජයාණන්ට පැය භාගයකට වරක් ශබ්ද පූජාවක් ලෙස සීනුව නාදවන පරිදි සවි කර අති මෙම දැවැන්ත ඔරලෝසුව වැවුරුකන්නලට හිමි වූ ආකාරය දැක්වෙන කතා පුවත ද ඉතා රසවත්ය. මේ පිළිබඳ තොරතුරු හෙළි කළ වත්මන් විහාරාධිපති, අමරපුර සිරි සද්ධම්ම වංශික මහා නිකායේ අනුනායක ආචාර්ය දික්වැල්ලේ තිස්ස හිමියන් කීවේ මෙවන් තොරතුරකි.

වැවුරුකන්නල විහාරස්ථානයේ එවකට (ක්‍රි.ව.1928) විහාරධිපතිත්වය දැරූ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බජ්ජිම සිරි සද්ධාතිස්ස නාහිමියන් කිසියම් කටයුත්තක් සඳහා කොළඹ බලා වැඩම කරවන අතර මග්ගොන විහාරස්ථානයක රාත්‍රී නවාතැන් ගෙන ඇත. එදින රාත්‍රිය පුරා පැය භාගයෙන් භාගයට කිසියම් සීනු නාදයක් ඇසෙන්නට වීම ගැන නාහිමියන් එම විහාරයේ විහාරාධිපතීන් වහන්සේගෙන් උදෑසන විමසීමේ දී දැන ගන්නට ලැබුණේ විහාරස්ථානය අසල පිහිටි මඩමක සවි කරඇති ඔරලෝසුවකින් එම හඩ නැගෙන බවය.

කොළඹ ගමන මදකට ප්‍රමාද කළ සද්ධාතිස්ස නාහිමියෝ තමන් වහන්සේ එම මඩමට එක්කරගෙන යන ලෙස විහාරාධිපති හිමියන්ගෙන් කල ඉල්ලීම අනුව එහි කැඳවාගෙන ගොස් ඇති අතර එම අරුම පුදුම ඔරලෝසුව දුටු සද්ධාතිස්ස හිමියන් එය මිල දී ගැනීමේ ආසාවක් ඇති වූයෙන් මඩමේ පාලනාධිකාරිය සමඟ කල සාකච්ඡාවෙන් පසු රු.3000/- කට එය මිලදී ගෙන ඇත. දැනට වැවුරුකන්නල මහා විහාර‍යේ කෞතුකාගාරයේ තැන්පත් කර ඇත්තේ එසේ මිලදී ගත් ඔරලෝසුවයි. බාල වයස් කරුවන් සඳහා වූ මග්ගොන පිහිටි එම මඩමේ සිටි ඩබ්ලිව්.එලාරිස් ද සිල්වා නම් තරුණයා විසින් (ක්‍රි.ව.1926 දී) මෙම අරුම පුදුම නිර්මාණය ඔහුගේ කාර්මික නිපුණත්වය මත තනා ඇති අතර පිත්තල දැතියේ ද දැව කොටස් හා වානේ කේබල් යොදා නිර්මාණය කර ඇත.

මෙම දැවැන්ත ඔරලෝසුවේ දැති ද ක්‍රියාත්මකවනුයේ වෙර ගැන්වීම තුලිනි. එසේ ක්‍රියාත්ම වන වෙනත් ඔරලෝසු දුනනක් මගින් සිදු වෙතත් මෙය ක්‍රියාත්මක වන්නේ ගුරුත්වාකර්ෂණ බලයෙනි. ඔරලෝසුවේ සිට අඩි 20 ට සවි කර ඇති රාත්තල් 112 ක් පමණ පමණ වූ පිත්තල සිලින්ඩර් දෙක (02) කින් එම කාර්යය සිදුවේ.එක් සිලන්ඩරයකින් ඔරලෝසුව ක්‍රියාත්මක වීමත්, අනිකෙන් වේලාව සටහන් වීමත් සිදුවේ.

වේලාව දක්වන සීනුව (එලාම් එක) ඔරලෝසුවේ සිට අඩි 150 ක් පමණ දුරින් වූ දාගැබ සමීපයෙහි සවි කර ඇති අතර යකඩ කුළුණු හතර (04) ක් මත සවි කළ අට්ටාලයක ඇති සීනුවට සිලින්ඩර් බලය කේබලයක ආධාරයෙන් සපයා ඇත. එය චෛත්‍යයට ශබ්ද පූජාවක් ලෙස පැය භාගයෙන් භාගයට ශබ්ද පතුරවයි.

අඩි 07 ක් උස අඩි 06 ක් හා අඩි 04 ක් පළල ඔරලෝසු යන්ත්‍රයට සවි කර ඇති මුහුණත් 02 කි. එකක් යන්ත්‍රයටම බද්ධ කර ඇති අතර එහි මුහුණත අඟල් 06 ක විශ්කම්භයකින් යුක්ත වුවද ජනතාවට වේලාව බලා ගත හැකි මුහුණත අඟල් 30ක පමණ විශ්කම්භයකින් යුක්තය.

ශ්‍රී ලාංකික කුසලතා පූර්ණ ශිල්පියෙක් වූ ඩබ්ලිව්.එලාරිස් ද සිල්වා ගේ මෙම අරුම පුදුම ඔරලෝසුව මේ වන විට වසර 90 ක පමන වයසක් ගතව ඇතත් කිසිදු අළුත්වැඩියාවකට මුහුණ දීමකින් තොරව අද දක්වා ඉතා නිවැරදිව වේලාව දක්වමින් පවතින අතර ඔරෝසු යන්ත්‍රය ආරක්ෂිත කුටියක රඳවා තබා ඇත. මෙම අරුම පුදුම නිමවුමට සමාන වෙනත් නිර්මාණයක් මේ දක්වා දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් තබා ආසියාතිකරයේ කිසිදු රටකින් මෙතෙක් එළි දක්වා නොමැති වීම ද විශේෂත්වයකි.

වැවුරුකන්නල පුද බිමේ පිහිටි සියක් රියන් බුදු පිළිම වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගේ විශේෂ අවධානයට යොමු වී ඇති අතීතයේ විසූ අපේ කාර්මිකයෙක්ගේ සුවිශේෂී නිපැයුමක් වීමක් වන මෙම අරුම පුදුම ඔරලෝසුව ජාතික වස්තුවක් ලෙස සුරැකීම ද යුගයේ අවශ්‍යතාවයකි.