තවත් අධ්‍යක්ෂවරියන් 2ක් රටින් පැනලා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 125 මූල්‍ය වංචාවට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමට සොයන තවත් අධ්‍යක්ෂවරියන් දෙදෙනෙක් මෙරටින් පලාගොස් තිබේ.

ප්‍රකාශයක් ගැනීමට කැඳවා සිටි තවත් අධ්‍යක්ෂවරියක් රෝහල් ගතවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය පවසයි. මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ තවත් අධ්‍යක්ෂවරියක් පෙරේදා මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත්වූවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙකක් හරහා මෙම මුදල් විශුද්ධිකරණය කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන මෙම අධ්‍යක්ෂවරියන් සිවුදෙනාම ප්‍රකාශ ලබාගැනීමට කැඳවා තිබුණි. එහිදී මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ අධ්‍යක්ෂවරියන් දෙදෙනකු මෙරටින් පිටව ගොස් ඇති බවයි.

අධිකරණයේ අවසරය ලබාගෙන ඔවුන්ගේ විදෙස් ලිපිනවලට කැඳවීම් ලිපි යවා ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමටත් ඔවුන් නොපැමිණියහොත් ඉන් එහාට ගත යුතු නීතිමය පියවර ගැනීමටත් මූල්‍ය අපරාධ කොට්ඨාසය බලාපොරොත්තු වෙයි.