ජාතික රූපවාහිනි මාධ්‍යවේදියාට තර්ජන

කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතා හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් ඇම්. ඩී. සෝමරත්න මහතා ප්‍රවෘත්තියක්‌ ආවරණය කිරීමට ගිය අවස්‌ථාවේ තමාට අමානුෂික ලෙස බැණ තර්ජනය කළ බවට කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා බිංගිරිය පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.

ඉකුත් 11 වැනි දින ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිමෙන්ති බෙදාදීමේ උත්සවයක්‌ ආවරණය කිරීමට ගිය අවස්‌ථාවේ දිනෙත් කුමාර මහතා මෙම සිද්ධියට මුහුණපා තිබේ.

එම ප්‍රදේශයේ මීට දින කීපයකට ඉහතදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයක්‌ වාර්තා කිරීමට නොපැමිණීම සම්බන්ධව මන්ත්‍රීවරයාගේ ආධාරකරුවකු මුලින්ම දිනෙත් කුමාර මහතාට බැණ වැදී ඇත. පසුව මන්ත්‍රීවරයා හා ප්‍රාදේශීය ලේකම්වරයා අමානුෂික අන්දමින් බැණ තර්ජනය කොට ඇතැයි සඳහන් වේ.

"තමුසේ මම කවුද කියලා දන්නෑ. මහින්දට කඩේ යන ඒවා විතරයි දාන්නෙ. මම තමුසෙව ජාතික රූපවාහිනියෙන් අයින් කරනවා." යනුවෙන් මන්ත්‍රීවරයා බැණවැදී ඇතැයි පැවසේ.

දිනෙත් කුමාර මහතා ජාතික රූපවාහිනි සංස්‌ථාවේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකි.

බිංගිරිය ප්‍රදේශයේ ස්‌ථාන කීපයක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්‌ඩාර මහතාගේ ආධාරකරුවන් පිරිසක්‌ නීති විරෝධී ලෙස වැලි කැපීම සම්බන්ධව ප්‍රවෘත්ති මගින් අනාවරණය කිරීම නිසා තමා සමග තිබෙන අමනාපයට මෙසේ බැණ වැදුණ බව දිනෙත් මහතා කියා සිටී.