ගැබ්ගෙල පිළිකාවෙන් වළකින එන්නත පාසලෙන්

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීම සඳහා දෙනු ලබන එච්.පී.වී. එන්නත 2017 ජනවාරි මාසයේ පටන් පාසල් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ නොමිලේ ලබා දෙන බව වසංගත රෝග අංශය පවසයි. ඒ අනුව දිවයිනේ සියලු පාසල්වල වයස අවුරුදු 10ත් - 11ත් අතර වයස්වල පසුවන දැරියන් (හය වසර) සඳහා මේ එච්.පී.වී. (Human Papillema Virus) ලබා දෙන බව වසංගත රෝග ඒකකයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය දීපා ගමගේ මහත්මිය පවසයි.

වයස අවුරුදු 10ත් - 11ත් අතරේ පසුවන සියලු පාසල් දැරියන්ට මේ එන්නත ලබා දීමෙන් ගැබ්ගෙල පිළිකාවෙන් පූර්ණ ආරක්ෂාව සැලසේ. එන්නත ගැබ්ගෙල පිළිකාවෙන් වැළැකීම සඳහා වන ආරක්ෂිතම සහ එකම ප්‍රතිශක්තිකරණ ක්‍රමය වන බවද වෛද්‍ය ගමගේ පවසයි. එච්.පී.වී. එන්නත විදීමෙන් මල්වර වීමේ ක්‍රියාවලියට හෝ දැරියන්ගේ ශාරීරික සෞඛ්‍යයට කිසිදු අහිතකර අතුරුපලයක් ඇති වන්නේ නැත.

එච්.පී.වී. එන්නත මාත්‍රා දෙකක් වශයෙන් දෙවරකට ලබාදීමට නියමිතය. පළමු එන්නත් මාත්‍රාව ලබාදී මාස හයක් ගතවූ පසු එන්නතෙහි දෙවැනි මාත්‍රාව ලබා දෙනු ඇත.

ගැබ්ගෙල පිළිකාව ලංකාවේ කාන්තාවන් අතර බහුලවම දැකිය හැකි පිළිකාවකි. ඊට ‍ගොදුරු වූ කතුන් 1000ක් පමණ වසරක් පාසා රෝහල්ගත වෙති. ඔවුන් අතරින් 50%ක් පමණ රෝහල්ගතවන්නේ රෝගයෙහි සංකූලතා ඇති වූ පසුවය. එලෙස සංකූලතා ඇතිව රෝහල්ගත වන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් මරණයට පත්වෙති. ගැබ්ගෙල පිළිකා හේතුවෙන් වසරකට තාරුණ්‍යයේ අග හෝ මැදි වියෙහි පසු වන කාන්තාවන් 500ක් පමණ අකාලයේ මරු වැලඳගනිති.

ගැබ්ගෙල පිළිකාවට හේතු වන්නේ හියුමන් පැපිලෝමා වෛරසයෙහි විවිධ ප්‍රභේදයන්ය. හියුමන් පැපිලෝමා වෛරසයෙහි පිළිකා කාරක වෛරස ප්‍රභේද 20ක් පමණ තිබේ. මේ වෛරස ප්‍රභේද සිරුරෙහි ලිංගික මාර්ගයෙහි තැන්පත්ව තිබේ. මේ ප්‍රභේද සක්‍රිය වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ලිංගික ක්‍රියාවලියේදී ස්ත්‍රී - පුරුෂයන් අතර හුවමාරු වන ලිංගික ශ්‍රාවයන් මඟින් රෝගය පැති‍රේ.

ආසාදිත පුද්ගලයන්ගේ ලිංගික ශ්‍රාව මඟින් ගැබ්ගෙල ආශ්‍රිත සෛලවල ඇති කරනු ලබන වෙනස්කම් හේතුවෙන් ගැබ්ගෙල පිළිකා ඇතිවේ. හියුමන් පැපිලෝමා වෛරසයේ 16 වැනි ප්‍රභේදය සහ 18 වැනි ප්‍රභේදයන් එක්වීමෙන් ගැබ්ගෙල පිළිකාවලින් 70%ක්ම ඇති වේ.

එච්.පී.වී. එන්නත මඟින් ගැබ්ගෙල පිළිකා වෛරසය 16 සහ 18 සඳහා ආරක්ෂාව සැලසෙන අතර, ලිංගික ඉන්නන් සඳහා ද ආරක්ෂාව ලබා දේ.

ගැබ්ගෙල පිළිකාව වළක්වාගත හැකිය. ඒ සඳහා අවුරුදු 35ට ඉහළ වයසේ පසුවන සෑම කාන්තාවක්ම ගැබ්ගෙල පිළිකාව හඳුනා ගැනීම සඳහා කරනු ලබන ‘පැප්’ පරීක්ෂණය කරවා ගත යුතුය. දිවයිනේ සෑම ගමකම හා නගරයකම අදාළ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මඟින් පවත්වනු ලබන ‘සුව නාරි’ සායන මඟින් පැප් පරීක්ෂණය නොමිලේ සිදු කර ගැනීමට පිළිවන. වයස අවුරුදු 35ට වැඩි විවාහක අවිවාහක සෑම කාන්තාවක්ම මෙම සුවනාරී සායනයක් වෙතින් ‘පැප්’ පරීක්ෂාවක් කර ගැනීමෙන් ඔබට ගැබ්ගෙල පිළිකාවක් වැලඳී හෝ ඒ සඳහා පූර්ව ලක්ෂණ පහළ වී ඇත්දැයි හඳුනාගත හැකිය. කල්තියා හඳුනා ගත් විට ගැබ්ගෙල පිළිකාව සුව කරගත හැකිය.

එච්.පී.වී. එන්නත මඟින් ආරක්ෂාව සැලසෙන්නේ ලිංගික සබඳතා ආරම්භ කිරීමට පෙර අවධියේ ම එය එන්නත් කළහොත් පමණය. රෝග ලක්ෂණ පහළ වූ පසුව හෝ ලිංගික සබඳතා අරඹා බොහෝ කල්ගත වූ පසුව එන්නත ලබා ගැනීමෙන් අපේක්ෂිත ආරක්ෂාව නොලැබේ. බහු ලිංගික සබඳතා පවත්වන කාන්තාවන්, ලිංගික සේවා සපයන්නියන් හා අනාරක්ෂිත ලිංගික සබඳතා පවත්වන කතුන් ගැබ්ගෙල පිළිකාවට ගොදුරු වීමේ වැඩි අවදානමක් උසුලයි. එහෙයින් විශ්වාසවන්ත එක් සහකරුවකු සමඟ පමණක් ලිංගික සබඳතා පැවැත්වීම හා අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වැළකී සිටීම ගැබ්ගෙල පිළිකාවෙන් වැළැකෙන්නට ඇති හොඳම පිළියම වේ.

- සාගරී