වැට් බද්ද අත්හිටුවයි

මැයි 2වන දා සිට වැඩි කළ වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අද සිට අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.

මෙම අත්හිටුවීම පෙත්සම විභාගය අවසන් වනතෙක් බල පැවැත්වෙන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේ ය.

විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ පනතක් සම්මත කරගත හොත් මෙම නියෝගය වලංගු නොවන බව ය.

ශේෂ්ඨාධිකරණය මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ, මීට අදාළව ඉදිරිපත් කර තිබූ පෙත්සම් පහක් සලකා බැලීමෙන් පසුව ය.
අගවිනිසුරු කේ.ශ්‍රීපවන්, බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න සාලිය ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණ.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ, මෙම බදු පැනවීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ සැලකිල්ලක් දක්වා නොමැති බව ය.

යහපාලනය හෝ වෙනත් පාලනයක් වේවා රටක් පාලනය කරන විට නීතියේ සිව් කොන ඇතුළත ක්‍රියා කළ යුතු බව විනිසුරු මඩුල්ල අවධාරණය කළේ ය.

මෙම පෙත්සම් ගොනු කරනු ලැබුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පස් දෙනෙකු විසිනි.