විකිරණ පරීක්ෂණයෙන් රෝගියා මරුට

කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක සුදුසුකම් නොමැති පුද්ගලයෙකු විසින් රෝගියෙකු විකිරණ පරීක්ෂණයට ලක් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය නිසි පරිදි පිළි නොපැදීම හේතුවෙන් රෝගියා මිය ගොස් ඇතැයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණාවේදීන්ගේ සංගමය සඳහන් කරයි. 

විකිරණ පරීක්ෂණයට රෝගියා ලක් කිරීමට පෙර Contrast Media නමැති ද්‍රව්‍ය පානය කිරීමට දිය යුතු අතර මෙම රෝගියාට එසේ පානය කිරීමට ලබාදුන් ඖෂධය පිට උගුරේ යාම හේතුවෙන් රෝගියා මිය ගොස් ඇතැයි සංගමයේ ‍ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ රෝහල් බොහොමයක විවිධ සේවාවන් ඉටු කරනු ලබන්නේ සුදුසුකම් නොමැති පුද්ගලයින් විසින් බවද ඔවුන් සෞඛ්‍ය සේවකයින් ලෙස මෙම රෝහලට විවිධ කාර්යයන් හි නිරත වන බවද හෙතෙම පවසා සිටියි.

වෙළෙඳ ගිවිසුම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් නොමැති පසුබිමක් තුළ අපගේ සේවා වෙළඳ‍පොළ විවෘත වීම ඉහත තත්ත්වය උග්‍ර විය හැකි බවද හෙතෙම පෙන්වා දේ.

මේ නිසා එක්ටා අත්සන් කිරීමට පෙර වහාම වෙළෙඳ ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සැකසීම අත්‍යවශය කටයුත්තක් වී ඇතැයි ඈපා මහතා සඳහන් කරයි.

එසේම වෘත්තිකයින් පුහුණු කරන ආයතනවල ප්‍රමිතිය පිළිබඳ වහාම සොයා බැලිය යුතු බවත් මෙවැනි ආයතන බොහොමයක් නිසි ප්‍රමිතියෙන් යුතු නොවන බවත් හෙතෙම සඳහන් කළේය.