ලංකාවේ 1/6 ට දීර්ඝ කාලීන ලෙඩ

මෙරට පුද්ගලයින් 06 දෙනෙකුගෙන් එක් අයෙකු කුමන හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බවට ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

මෙය මෙරට ජනගහනයෙන් සියයට 18ක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මෙම සමීක්ෂණයේ දී දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, පිළිකා, ශ්වසන රෝග, මානසික ආබාධ, රක්තවාතය, අපස්මාරය වැනි රෝග පිළිබඳව තොරතුරු රැස්කර තිබේ.

වයස්ගත වීමත් සමග දිර්ඝ කාලීන රෝගවල ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර අවුරුදු 60 වැඩි පුද්ගලයින් අතරින් සියයට 50ක් පමණ කිසියම් දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙන බව එම දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත.

එමෙන්ම අවුරුදු 15ට හා ඊට වැඩි ජනගහනය තුළ දියවැඩියාව රෝගය සියයට 7ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර අධි රුධිර පීඩනය සියයට 9ක් වන බව සඳහන්ය.

එමෙන්ම දීර්ඝ කාලීන රෝගවලින් පෙළෙන්නන්ගේ ව්‍යාප්තිය ඔවුන් සිදුකරන රැකියා, කර්මාන්ත අනුව ද වෙනස් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා කළමනාකරුවන් ඝණයට අයත් පුද්ගලයින් අතර දියවැඩියාව සියයට 13ක් වන අතර අධි රුධිර පීඩනය සියයට 8ක් බව සඳහන්ය.

එමෙන්ම කෘෂිකර්මාන්ත අංශය සහ කර්මාන්ත අංශයේ රැකියාවල නිරත වූවන් තුළ දියවැඩියා ව්‍යාප්තිය සියයට 4ක් වන අතර සේවා අංශය තුළ එය සියයට 7ක් බව වාර්තා වෙයි.