දැරියක්‌ දරුවකු ප්‍රසූත කරයි

බඩේ අමාරුවක්‌ යෑයි පවසා පියා විසින් නාවලපිටිය රෝහලට ඇතුළත් කළ 15 හැවිරිදි දැරියක්‌ දරුවකු ප්‍රසූත කොට ඇත.

නාවලපිටිය, ඉඟුරුඔය නව ගම්මාන ප්‍රදේශයේ පියෙකු විසින් මෙම දැරිය රෝහල් ගතකොට තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය ඊයේ (23දා) පරීක්‍ෂණ අරඹා ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ මෙම දැරිය මහනුවර ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කිරීමේදී තරුණයකු සමඟ සම්බන්ධයක්‌ ඇති කරගෙන ඇති බවයි.

නමුත් එම තරුණයාගේ නමක්‌ ගමක්‌ හෝ පදිංචියක්‌ පිළිබඳවත් මෙම දැරිය නොදන්නා බවද, ඔහුගේ දුරකථන අංකය පමණක්‌ දන්නා බවද අනාවරණය වී ඇත.

මෙම දැරිය එම රැකියා ස්‌ථානයෙන් ඉවත්ව නිවසේ නතර වී ඇති අතර, පෙරේදා (22දා) උදරයේ වේදනාවක්‌ ඇති බව පැවසූ නිසා පියා විසින් දැරිය මෙසේ රෝහල් ගතකර ඇති අතර එහිදී දරුවා ප්‍රසූත කර ඇත.

කෙසේ නමුත් පිරිමි දරුවකු ලැබී ඇති අතර ඇය හා දරුවා හොඳින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. සැකකාර තරුණයා සොයා නාවලපිටිය පොලිසිය පරීක්‍ෂණ අරඹා ඇත.