යෝෂිත අත්අඩංගුවට ගැනීමට නිර්දේශයක් !

yoshitha
පසුගිය රාජපක්ෂ රජය යටතේ සිදු කෙරුණු දූෂිත ගල් අඟුරු ටෙන්ඩරයක් සම්බන්ධයෙන් එහි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මූළ්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) ‍තම අභිමතය පරිදි සිදු කරන ලෙස නීතිපතිවරයා දැනුම් දී තිබේ.

ඒ අනුව ඉදිරි දින කීපය තුලදී මෙම දූෂිත ටෙන්ඩරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත කැඳවීමට නියමිතව පවතී.

කැබිනට් අනුමැතියට යටත්ව සිදුකල මෙම ටෙන්ඩර් ගනුදෙනුවට යෝෂිත රාජපක්ෂ මහතා මහතා සම්බන්ධ බවට ලිඛිත සාක්ෂි නැතත්, ඔහු මෙම ටෙන්ඩරය ලබාදීමට මැදිහත්වී කොමිස් මුදලක් ලබාගත් බව පැවසේ.

එහෙයින් ඔහුව කෙලින්ම අත්අඩංගුවට ගැනීම නිර්දේශ නොකර, ඔවුන්ගෙන් කට උත්තර ලබා ගත් පසු ඔවුන්ට එරෙහිව වරදක් අනාවරණය වන්නේ නම්, FCID නිලධාරීන්ගේ අභිමතය පරිදි ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා තම නිර්දේශයේ සඳහන් කොට ඇත්තේ මීට පෙර අවස්ථාවක ඇති වූ මතභේදාත්මක සිද්ධියක් නිසාය.


නීතිපතිගේ නියෝග නොතැකීම :

එනම් නීතිපතිවරයාගේ නිර්දේශය මත සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් මහජන මුදල් අවභාවිතය පිළිබඳව සාමූහිකව වගකීමකට යටත් වන හෙයින් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට පමුණුවන ලෙසට නියෝග කර තිබුනි.

නමුත් නීතිපතිවරයාගේ නිර්දේශය FCID නිලධාරීන් ක්‍රියාත්මක කිරීමට ගිය අවස්ථාවේදී රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් 150 කට අධික පිරිසක් හොරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ඉල්ලා අස්වන බවට තර්ජනය කළ අතර ඒ හා යමින් රජයේ ඉහලම පුද්ගලයෙකුද FCID ට පවසා ඇත්තේ රාජ්‍ය සේවයේ නියුතු නිලධාරීන් කෙරෙහි සානුකම්පිතව කටයුතු කරන ලෙසයි.

නමුත් නීතිපතිවරයා දැඩි ලෙසම කියා ඇත්තේ මෙය මහජන මුදල් අවභාවිතයක් බැවින් කෙසේ හෝ මොවුන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එහි නම් සඳහන් වූ එක් පුද්ගලයෙකු මේ වන විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් තනතුරක් හොබවන බැවින් FCID වෙත යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවයන් දෙකෙන්ම දැඩි පීඩනයක් එල්ල වී තිබේ. කෙසේ නමුදු මේ දක්වා කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදු වී නැත.

මේ තත්වය FCID ය හා නීතිපති දෙපාර්තමේන්තුව අතර නොහොද නෝක්කාඩුවක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.

එසේ හෙයින් මෙවර නීතිපති නිර්දේශය FCID වෙත ලබා දී ඇත්තේ ‘වරදක් අනාවරණය වන්නේ නම් අභිමතය පරිදි අත්අඩංගුවට ගන්නා ලෙස'යි.