යාපහුවෙන් උලමෙක්‌ හමුවේ

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වෙසෙන එහෙත් ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන අලංකාර පක්‍ෂියකු වන උලමකු පසුගියදා යාපහුව ප්‍රදේශයෙන් හමු වී ඇත.

ගසක්‌ මුල වැටී සිටියදී එම ප්‍රදේශයේ පුද්ගලයකුට හමුවී තිබූ මෙම ඉතා අලංකාර පක්‍ෂියා එම පුද්ගලයා විසින් පසුව යාපහුව රජමහා විහාරස්‌ථානයට භාර දී තිබිණි.

මේ පිළිබඳව යාපහුව රජමහා විහාරාධිපති හිමියන් විසින් වනජීවී දෙපාර්තමේන්තුවට කළ දැනුම් දීමකට අනුව එහි නිලධාරීන් එම උලමා අනුරාධපුර පණ්‌ඩලගම පිහිටි වනජීවී සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්‌ථානය වෙත රැගෙන විත් තිබේ.

මාංශ භක්‍ෂණයට වඩාත් ප්‍රියතාවක්‌ දක්‌වන පක්‍ෂියකු ලෙස හැඳින්වෙන උලමා හොඳින් වර්ධනය වූ පසු අඩි දෙකක්‌ පමණ උසින් යුතු වන බවත්, සිය භාරයේ සිටින එම පැටවා ද මේ වන විට අඩියක්‌ පමණ උසින් යුක්‌ත වන බවත් වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවැසීය.

මෙම පක්‍ෂියා හොඳින් වැඩුණු පසු වනෝද්‍යානයකට මුදා හැරීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවැසීය.