කෝටි 6ක හෙරොයින් දැලේ

drugs
ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර කටාර් රාජ්‍යය ඔස්සේ සිදුවු දැවැන්ත මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස සැළකෙන පකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද(25) අළුයම ඔහු කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණි ඇති අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

ගමන් මළු දෙකක ව්‍යාජ පතුල් තනා ඒ තුළ සගවා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 05 කට ආසන්න ප‍්‍රමාණයක් ශි‍්‍ර ලංකාවට රැගෙන එමේ වරදට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහි වටිනාකම මිලියන 60ක් බව වාර්තා වෙයි.

පකිස්ථාන රාවල් පින්ඩි නුවර සිට කි‍්‍රයාත්මක වන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක ප‍්‍රධාන පුද්ගලයා ලෙස හදුනාගෙන ඇති මෙම සැකකරු පකිස්ථාන ජාතික රොයිඩඞ් ඛාන් නැමැත්තෙකි.

පසුගිය අපේ‍්‍රල් මාසයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 01 1/2 ක් සමග අත්අඩංගුවට ගනු ලැබු මාලදිවයින් ජාතකයින් දෙදෙනාට මත්ද්‍රව්‍ය සැපයිම සිදුකර ඇත්තේද මෙම පුද්ගලයා බවට තොරතුරු ලැබී තිබේ.

ඒ සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයේදි කරුණු හෙළිදරව් වී තිබු අතර එම අවස්ථාවේ පටන් අදාළ පුද්ගලයා සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ විසින් සිදුකරනු ලැබු දිර්ඝ විමර්ශනයක ප‍්‍රථිඵලයක් ලෙස මෙම අත්අඩංගුවට ගැනිම සිදු කිරිමට හැකි වු බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතා පවසයි.

වර්තමාන පොලිස්පති පූජීත් ජයසුන්දර මහතා විසින් කි‍්‍රයාත්මක කර ඇති මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට ගෙන ඇති වැඩපිළිවෙළත් සමග පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් ඊයේ හා පෙරේදා දිනයන්හි සිදුකරනු ලැබු ප‍්‍රධාන වැටලීම් දෙකකදී කිලෝ ග‍්‍රෑම් 02 යි ග‍්‍රෑම් 50 ක් කොළඹ හැව්ලොක් පාරේ සහ වැල්ලම්පිටිය ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයන්දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සමග දින 03 ක් ඇතුළත පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් මත්ද්‍රව්‍ය ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 07 ග‍්‍රෑම් 50 ක් දක්වා ඉහළ යයි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කරන තුරු ශි‍්‍ර ලංකා පොලීසිය ඉදිරියේදී මෙවැනි වැටලීම් වඩාත් පුළුල් ලෙස සිදුකිරීමට කි‍්‍රයාකරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

මේ සඳහා හැකි තරම් තොරතුරු ලබා දීමේන් මහජන සහය ලබා දෙන ලෙස පොලිස්පතිතුමා විසින් සියළුම ජන කොටස් වලින් කාරුණිකව ඉල්ලා සිටියි.