13 වියෑති දැරියව සිපගත් දහම් පාසල් ගුරුවරයා අත්අඩංගුවට

හොරොව්පොතාන ප්‍රදේශයේ දහම් පාසලක අධ්‍යාපනය ලබන දහතුන් වියෑති ශිෂ්‍යාවකගේ ගෙලට අත දමා සිප වැළඳගෙන ලිංගික අපයෝජනයට ලක්‌ කළ බව කියන එම දහම් පාසලේ ගුරුවරයකු වශයෙන් සේවය කරන සිවිල් ආරක්‍ෂක භටයකු හොරොව්පොතාන පොලිසිය විසින් පෙරේදා (02 දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 23 වැනිදා පෙරවරුවේ එම සිසුවිය දහම් පාසලේ කාර්යාල කාමරය අතුගා පවිත්‍ර කිරීමට කාමරය තුළට ගිය අවස්‌ථාවේ එහි සිට ඇති සැකකාර සිවිල් ආරක්‍ෂක භටයා ඇගේ ගෙලට අත දමා සිප වැළඳ ගෙන ලිංගික අපයෝජනයට ලක්‌කොට තිබේ.පසුව එම සිසුවිය මේ බව තම දෙමවුපියන්ට පෙරේදා (02 දා) දැනුම් දීමෙන් අනතුරුව ඇය සහ දෙමවුපියන් හොරොව්පොතාන පොලිසිය වෙත ගොස්‌ පැමිණිලි කොට ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හොරොව්පොතාන, මොරකෑව, ඇළපත්වැව ප්‍රදේශයේ පදිංචි විවාහකයකු වන අතර ඔහු හොරොව්පොතාන තිරප්පන්කඩවල සිවිල් ආරක්‍ෂක බළකායේ කලාප කාර්යාලයට අනුයුක්‌තව සේවයෙහි නියුතු අයකු බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.