වසන්ත මුදලිගේ කළ හෙළිදරව්ව

ආණ්ඩුව සැලසුම්කර තිබුණේ තමා නිදහස් කිරීමට නොව ඝාතනය කිරීමට බවත් මර්දනය ඉදිරියේ ජනතාව හිස නොනැමූ නිසා එය කළ නොහැකි වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසයි.පෙබරවාරි 04 වැනිදා විරෝධතාවයක් ප්‍රකාශයට පත්කර ඇති බවත් සියලුම දෙනා එදිනට කොළඹට පැමිණෙන ලෙසත් එසේ පැමිණීමට නොහැකි අය තමා පදිංචි ප්‍රදේශයේ සිට කලු කොඩියක් ඔසවා විරෝධය පලකරන ලෙසත් ඉල්ලා සිටියි.ඔහු මේ බව පැවසූවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

රුපියල සියයට 44කින් අවප්‍රමාණ වෙලා


2022 වසරේදී ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මෙරට විදේශීය අංශයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවක එලෙස සඳහන් වේ. 2023 වසරේ ජනවාරි මස 31 වන දින දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම, ඉන්දියානු රුපියල, ඔස්ට්‍රේලියානු ඩොලරය සහ ජපන් යෙන්වලට සාපේක්‍ෂව අවප්‍රමාණය වී ඇති බව ද මහ බැංකුව ප්‍රකාශ කරයි.

පෙට්‍රල් මිල රු. 30 කින් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400කි. 
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිලද රුපියල් 30කින් ඉහළ දමා තිබේ. කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන් වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි

කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පනී

සංවිධානාත්මක කල්ලි නායකයෙක් බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් ඇප මත මුදා හැර දින කිහිපයකට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පළාගොස් ඇති බව ප්‍රා දේශීය පොලිස් වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

මේ අනුව කංජිපානි ඉම්රාන් 2022 දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට මුහුුදු මාර්ගයෙන් ගොස් ඇති අතර ඔහු පිළිබඳව විමර්ශනයෙන් පසුවන ලෙස තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර ඇත.

ගෝඨාභය හා බිරිඳ ඇමෙරිකාවට යයි


ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු අද (26දා) ඩුබායි ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ. ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ ඔහුගේ බිරිඳ මෙන්ම ඔවුන් දෙදෙනාගේ මිනිපිරිය මෙසෙ ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.