උදාරි අංගම්පොර වැඩමුළුවක

ජනප්‍රිය නිළියක වන උදාරි වර්ණකුලසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අංගම්පොර ස්වයං ආරක්ෂාවට යොදා ගන්නා ආකාරය දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වනු ලැබීය.

අජන්ත මහන්තආරච්චි මේ වැඩමුළුවේ උපදේශකයා ලෙස කටයුතු කළේය.එහි ජායාරූප කිහිපයක් පහත දැක්වේ.

තිස්ස අත්තනායකට ඇප

කූට ලේඛණ සකස්කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් මෙන්ම, හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා කොළඹ මහාධිකරණය විසින් ඇප නියම කරනු ලැබීය. 


රුපියල් 25000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහ බැගින් වන ශරීර ඇප දෙකක් මත ඔහු නිදහස් කරනු ලැබීය.

නවසීලන්ත අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වෙයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. වසර 8ක් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා. 

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ බිල් ඉන්ග්ලිෂ් තාවකාලිකව අග්‍රාමාත්‍ය ධුරයේ වැඩකටයුතු කිරීම සදහා යෝජනා කර තිබෙනවා. ජෝන් කී ඉල්ලා අස්වීමට හේතුව ඔහු පැහැදිලි කර නැහැ. කෙසේ වෙතත් ඔහුගේ මෙම හදිසි ඉල්ලා අස්වීම නවසීලන්ත පාර්ලිමේන්තුව උණුසුම් කරනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.

සහල් මිල ඉහළට

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබූ වී තොග සත්ත්ව ආහාරවලට විකුණා දැමීමත්, පසුගිය කන්නයේ වී අස්වනු පහත වැටීමත්, වී මෝල් හිමියන් විසින් වී තොග සඟවා තබා ගැනීමත් නිසා ඉදිරි කාලය තුළ සහල් මිල විශාල ලෙස වැඩිවීමේ අවදානමක් ඇතිවී තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය කන්නයේදී වී අතිරික්තයක් ඇති බව පවසමින් අතිරේක භෝගවලට යෑම සඳහා අක්කර දෙලක්ෂ පනස් දහසකින් වී වගාව අඩුකළ බවත්, ඒ සමගම ඇතිවූ නියඟයෙන් වී වගාව විනාශ වූ බවත් පැවසූ කරුණාරත්න මහතා ඒ හරහා පෙර කන්නවල ලැබුණු වී අස්වනු රටට අහිමි වූ බවත් පැවසීය.

ගම්පහ බස්‌ සංගම් සභාපති ඇතුළු 19ක්‌ රිමාන්ඩ්

වාහන දඩ මුදල් වැඩි කිරීමට එරෙහිව ඉකුත් 2 දා පැවති දීපව්‍යාප්ත පෞද්ගලික බස්‌ රථ සහ ත්‍රිරෝද රථ වර්ජනයේදී මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කන්ද හන්දිය අවහිර කරමින් ප්‍රධාන මාර්ගයේ බස්‌ රථ ධාවනයට සහ හලාවත කොළඹ දක්‌වා දිවෙන දුම්රියද නවතා ඉතා කලහකාරීව මහජනයාට පීඩාවන පරිදි හැසුරුණු ගම්පහ දිස්‌ත්‍රික්‌ පෞද්ගලික බස්‌ රථ සංගමයේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් 19 දෙනකුට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා සැකකරුවන් දෙසැම්බර් මස 9 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පෙරේදා (3 දා) නියෝග කළේය.