පොලිස්‌පති අද පාර්ලිමේන්තුවට

දෙවිනුවර හිටපු බස්‌නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා අත්අඩංගුවට නොගන්නා බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා අද (05 දා) පාර්ලිමේන්තුවට කැඳවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (03 දා) පාර්ලිමේන්තුවේදී කීවේය.

මෙම අවස්‌ථාවට පොලිසිය භාර ඇමැතිවරයා ද කැඳවන බව කී අගමැතිවරයා විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතාටද පැමිණ පොලිස්‌පතිවරයාගෙන් කරුණු විමසිය හැකි බව ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ හෙට සාපෙළ ලියති

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06 වැනිදා) ආරම්භ කෙරේ.

නව හා පැරණි නිර්දේශ යටතේ පැවැත්වෙන මෙම විභාගය සඳහා අයදුම්කරුවෝ හත්ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ පෙනී සිටිති. ඉතිහාසයේ වැඩිම පිරිසක්‌ පෙනී සිටින විභාගය මෙය වන අතර, මෙවර යොදවා සිටින කාර්ය මණ්‌ඩලය 65524 කි. දිවයින පුරා මධ්‍යස්‌ථාන 5669 කදී විභාගය පැවැත්වෙයි.

ලංගම සේවකයින්ට අවදානම් දීමනාවක්‌

රට පුරා පෞද්ගලික බස්‌ වර්ජනය පැවැති පසුගිය සිකුරාදා (02 වැනිදා) ලංගම රුපියල් මිලයන 120 ක වාර්තාගත ආදායමක්‌ උපයා ඇතැයි ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා ඊයේ (04 වැනිදා) පැවැසීය.

සාමාන්‍යයෙන් ලංගම දෛනික ආදායම රුපියල් මිලයන 72 ක්‌ බව ද එදින ලංගම දෛනික ආදායම සියයට 53 කින් ඉහළ ගොස්‌ ඇතැයිද සභාපතිවරයා සඳහන් කළේය.

සප්ත කන්‍යා ගුවන් අනතුරට වසර 42යි

saptha kanya plane crash
පුද්ගලයින් 191 දෙනකුට මරු කැඳවමින් මෙරට ඉතිහාසයේ සිදුවූ බිහිසුණුම ගුවන් අනතුර සිදුව ඊයේ (4) දිනට වසර 42 ක් සපිරිණි.

වර්ෂ 1974 දෙසැම්බර් මස 4 දින මේ ගුවන් අනතුර සිදුවූ අතර ඉන් මක්කමේ වන්දනාවේ යමින් සිටි වන්දනා කරුවන් 182ක් හා කාර්යමණ්ඩලයේ 9 දෙනකු මරණයට පත්වූහ.

මහින්ද ජාතික උවදුරක් ගැන කියයි

ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට රථ වාහන, විශේෂ දීමනා යනාදී වශයෙන් වරදාන බෙදීම ළඟ එන බරපතළ ජාතික උවදුරක පෙරනිමිති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් ඔහු එම නිවේදනය නිකුත් කර තිබේ.