දුමින්දගේ FB පිටුවේ පාලනය සහෝදරියගෙන්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතානයට වරදකරුවෙකු බවට පත්ව මරණීය දණ්ඩණය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුම ඔහුු සිරගතව සිටින කාලයේදීත් සක්‍රීය වී තිබේ.

එම පිටුව සක්‍රීයව පවත්වාගෙන යන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ගැටලුවක් වූ අතර ඇයගේ සහෝදරිය වන දිලිණි සිල්වා අද (01දා) එයට පිළිතුරු දී තිබෙයි. ඇය පවසන්නේ දුමින්ද සිල්වාගේ ෆේස්බුක් පිටුව තමන් විසින් සක්‍රීයව පවත්වාගෙන යන බවයි.

මංගලගේ ප්‍රකාශය ගෝඨා ප්‍රතික්ෂේප කරයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රජයේ වියදමින් නිවසක් මිලදීගෙන එහි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතා වාසය කළ බවට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (01දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය ද්වේශ සහගත හා පදනම් විරහිත ප්‍රකාශයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක්කරමින් පවසයි.

වසරකතුත් මාස 9ක කාලයක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතා හමුදා ආරක්ෂකයින් දෙදෙනෙකුගේ සහායද ඇතිව එම නිවසේ වාසය කළ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 27ක මුදලක් ගෙවා ඇති බවත් අමාත්‍යවරයා ඊයේ (30දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඉතියෝපියාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

විදේශ සේවය නවීකරණය කරද්දී උගන්ඩාව වෙනුවට ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (30) ප්‍රකාශ කළේය.

අප්‍රිකානු කලාපයේ අනෙක් රටවල තානාපති කාර්යාල අලුතින් පිහිටුවීමට බලා‍පොරොත්තුවක් නැති බව පැවැසූ ඇමැතිවරයා ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මේ මාසයේදී පිහිටුවන බවද කිවේය.

රතිඤ්ඤා කරල්වල බුදුරුව

පැල්වත්ත ලංකා සීනි සමාගමේ උක්‌ වගා ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා අලිවෙඩි ලබා ගන්නා සමාගමෙන් මෙවර ලබාදුන් තුන්හුලස්‌ රතිඤ්ඤා කරල්වල දවටනයේ බුද්ධ රූප හා සීවලී රහතන් වහන්සේගේ රුව සහිත කොළ ඇති බවට ප්‍රදේශවාසීන් පිරිසක්‌ ලබාදුන් තොරතුරක්‌ අනුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

සීනි සමාගමේ නිලධාරීන් විසින් ලබාගෙන තිබූ මෙම රතිඤ්ඤා තොගයේ රතිඤ්ඤා 500 ක්‌ පමණ තිබී ඇති අතර ඒවා නිකුත් කර ඉතිරිව තිබී ඇත්තේ 92 ක්‌ පමණක්‌ බවත් ඒවා පොලිස්‌ භාරයට ගැනුණු බවත් ස්‌ථානාධිපතිවරයා පැවැසීය. මේ සම්බන්ධයෙන් ඊයේ (30 දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් රතිඤ්ඤා කරල් උසාවියට ඉදිරිපත් කළ බවත් ඒ මහතා කීය.

ලංගම නිවාඩු අවලංගු කරයි

පෞද්ගලික බස්, දුම්රිය හා ත්‍රිරෝද රථ අද (01දා) මධ්‍යම රාත්‍රියේ අරඹන වැඩ වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංගමයේ රියැදුරු, කොන්‍ෙදාස්තරවරුන්, කාර්මිකයන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන ලෙස අවලංගු කළ බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන දුෂ්කරතා අවම කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 7000කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවන බවද සභාපතිවරයා පවසයි. මේ අනුව සාමාන්‍ය ශ්‍රී ලංගම සේවාවන්ට අමතර ඒ ඒ මාර්ගවල අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු යොදා ඇතැයි හෙතෙම පවසයි.