රතිඤ්ඤා කරල්වල බුදුරුව

පැල්වත්ත ලංකා සීනි සමාගමේ උක්‌ වගා ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා අලිවෙඩි ලබා ගන්නා සමාගමෙන් මෙවර ලබාදුන් තුන්හුලස්‌ රතිඤ්ඤා කරල්වල දවටනයේ බුද්ධ රූප හා සීවලී රහතන් වහන්සේගේ රුව සහිත කොළ ඇති බවට ප්‍රදේශවාසීන් පිරිසක්‌ ලබාදුන් තොරතුරක්‌ අනුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි බුත්තල පොලිසිය පවසයි.

සීනි සමාගමේ නිලධාරීන් විසින් ලබාගෙන තිබූ මෙම රතිඤ්ඤා තොගයේ රතිඤ්ඤා 500 ක්‌ පමණ තිබී ඇති අතර ඒවා නිකුත් කර ඉතිරිව තිබී ඇත්තේ 92 ක්‌ පමණක්‌ බවත් ඒවා පොලිස්‌ භාරයට ගැනුණු බවත් ස්‌ථානාධිපතිවරයා පැවැසීය. මේ සම්බන්ධයෙන් ඊයේ (30 දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් රතිඤ්ඤා කරල් උසාවියට ඉදිරිපත් කළ බවත් ඒ මහතා කීය.

ලංගම නිවාඩු අවලංගු කරයි

පෞද්ගලික බස්, දුම්රිය හා ත්‍රිරෝද රථ අද (01දා) මධ්‍යම රාත්‍රියේ අරඹන වැඩ වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංගමයේ රියැදුරු, කොන්‍ෙදාස්තරවරුන්, කාර්මිකයන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු වහාම ක්‍රියාත්මක වන ලෙස අවලංගු කළ බව ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මේ වැඩ වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුවන දුෂ්කරතා අවම කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සතු බස් රථ 7000කට ආසන්න ප්‍රමාණයක් සේවයේ යොදවන බවද සභාපතිවරයා පවසයි. මේ අනුව සාමාන්‍ය ශ්‍රී ලංගම සේවාවන්ට අමතර ඒ ඒ මාර්ගවල අවශ්‍යතාව පරිදි අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු යොදා ඇතැයි හෙතෙම පවසයි.

වෙබ් මාෆියාවලට ඉඩ දෙන්නේ නෑ

"මිනිසුන්ට මඩ ගහන්න, චරිත ඝාතනය කරන්නට, අපහාස කරන්නට වෙබ් මාධ්‍යවලට මේ විදියට ඉඩ දෙන්න බැහැ. එවැනි දේ වළක්වන්න මාර්ගයක් තිබිය යුතුයි. ඊ නිව්ස් කතුවරයා ඉන්ටර්පෝල් හරහා අත්අඩංගුවට ගත හැකි බව අධිකරණ ඇමැතිවරයා ප්‍රකාශ කළේ නීතිඥයකු වශයෙන් ඔහුගේ මතයයි.

අධිකරණ නියෝග වැරැදි නම් ඔහුට ඉහළ අධිකරණයකට යන්න පුළුවන්. මීට වඩා විශාල අපරාධ කළ අය ගෙන්වා ගැනීමට ඉන්නවා.

විදෙස් ශ්‍රමිකයන්ට විශ්‍රාම වැටුපක්

ලබන වසරේ සිට විගමනක ශ්‍රමිකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසන්නීය.

විදෙස් ගත වන ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 350කුත් පුහුණු ශ්‍රමිකයන්ගේ අවම වැටුප ඩොලර් 400ක් ලෙසත් මෙවර අය - වැය මඟින් යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජනා කරන ලද විශ්‍රාම වැටුප් ක්‍රමය මේ අනුව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරිය අවධාරණය කළාය.

තලවතුගොඩ ගණිකා මඩමක් වටලයි

තලවතුගොඩ ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය එහි කළමනාකරු ඇතුළු කාන්තාවන් පස් දෙනකුට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස කඩුවෙල මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ධම්මික හේමපාල මහතා පෙරේදා (29දා) නියෝග කළේය.

තලංගම පොලිස් බල ප්‍රදේශයේ තලවතුගොඩ "සිටි ලන්ඩන්" නමින් මෙම මධ්‍යස්ථානය 2012 ජනවාරි 25 දින තලංගම පොලිසිය මඟින් වැටලූ අවස්ථාවේ එහි ගණිකා වෘත්තියට සූදානම් වී සිටි කාන්තාවන් 13ක් සහ කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබිණි.