සිල් මාතාවට අතවර කළ නරුමයා රිමාන්ඩ්

ඇඹිලිපිටිය නගරයට නුදුරින් පිහිටි අතුරු මාර්ගයක පිඬු සිඟා වඩිමින් සිටි දසසිල් මාතාවකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 28 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් නිල්මිණි කේ. වීරසිංහ මහත්මිය නියෝග කළාය.

ඇඹිලිපිටිය නගරයට ආසන්නයේ පටු මාර්ගයක ඉකුත් 18 දින 43 හැවිරිදි සිල් මාතාවකට අතවර කර ප්‍රදේශයෙන් පලා ගොස් සිටි සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

දුමින්ද බැලීමට ගිය විනිසුරුවරිය අනිවාර්ය නිවාඩු

දුමින්ද
භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවට අදාළව මරණීය දණ්ඩනයට නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය බවට චෝදනා එල්ල වූ කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් මහත්මිය අනිවාර්ය නිවාඩු යැවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

අදාළ සිදුවීම පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයකින් පසුව කොළඹ දිසා විනිසුරු අයේෂා ආබ්දීන් මහත්මිය පිළිබඳ එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

දෙසැම්බර් 1වැනිදා සිට ලංකාවේම බස් වර්ජනයක

රථවාහන වැරැදි සම්බන්ධයෙන් 2017 අය - වැය ලේඛනයෙන් අවම දඩය රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට එරෙහිව දෙසැම්බර් මස 1 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

බස් රථ නඩත්තු ගාස්තු ඉහළ යෑම, සැලකිය යුතු මගීන් පිරිසක් පෞද්ගලික බස් සේවාවෙන් බැහැරවීම ඇතුළු කරුණු ගණනාවක් නිසා බස් කර්මාන්තය පවත්වාගෙන යෑමට අසීරු අවස්ථාවක දරා ගැනීමට නොහැකි ලෙස මෙසේ වැඩි කරන දඩ මුදල් ගෙවීමට තම බස් රථ විකුණා දැමීමට සිදුවන බවද ලේකම්වරයා පෙන්වා දෙයි.

හිටපු ඇමැති ජීඑල්ට එරෙහි පරීක්ෂණයක්

ජී.එල්.පීරිස්
විදේශ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කිරීම පිළිබඳ හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට රජය ඊයේ (24) තීරණය කළේය.

ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2010 සිට 2015 දක්වා කාලය තුළ අමාත්‍යාංශයට වෙන් කළ මුදල් සීමාවකින් තොරව වියදම් කර ඇති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු පැමිණිලි අනුව ඉහත පරීක්ෂණ ආරම්භ කෙරේ.

ලංකාවේ දිනකට ගබ්සා 800ක්

ශ්‍රී ලංකාවේ දිනකට දරු උපත් එක්දහස් 1100 -1200 අතර ගණනක් සිදුවන බවත් දිනකට ඇස්තමේන්තු ගත ගබ්සා ප්‍රමාණය 700 ත් 800ත් අතර පවතින බවත් දකුණු පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බෝනොවන රෝග ඒකකයේ වෛද්‍ය නිලධාරී නලින් විජේසේකර මහතා පැවසීය.

'පති පතිනි ප්‍රහර්ෂා' ග්‍රන්ථය දොරට වැඩීම නිමිත්තෙන් ගාල්ල හෝල් දි ගෝල් ශාලාවේ පැවති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.