හැදුනුම්පත් කාර්යාලය 27දා සිට බත්තරමුල්ලට

මහජනතාවට වඩාත් කාර්ෂක්ෂම හා ඵලදායි සේවාවක් සැලසීම උදෙසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 27 වනදා සිට බත්තරමුල්ල පිහිටි "සුහුරුපාය" නව ගොඩනැගිල්ල වෙත රැගෙන යන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එබැවින් සැප්තැම්බර් 23 හා 26 දිනවලදී හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය හා අනෙකුත් සේවාවන් ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.27 වනදා සිට දෙපාර්තමේන්තුවේ සියලු සේවාවන් "සුහුරුපාය" නව පරිශ්‍රයේදී ක්‍රියාත්මක වේ.

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

ක්‍රිකට් ක්‍රිඩක නුවන් කුලසේකරගේ රිය අනතුරු සිද්ධිය සිදුවී සතියක් යන්නට මත්තෙන් තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු අනතුරක් සිදු කර පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.අද උදෑසන කොළඹ 7 නිදහස් මාවතට ආසන්න ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෝටර් රථය පැදවූ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු අධික වේගයෙන් පදවාගෙන ආ මෝටර් රථය ගහක හැපී තිබෙන අතර සිද්ධියෙන් ඔහුට අනතුරක් සිදුව නැත. නමුත් අනාරක්ෂිත ලෙස රිය පැදවූ ඔහුව පරීක්ෂා කිරීමේදී බීමත්ව රිය පැදවූ බවට හෙළිව ඇත.

හිරුණිකාට පිටරට ගමන් තහනම්

දෙමටගොඩ රෙදි වෙළෙඳසලක්‌ තුළදී බලහත්කාරයෙන් තරුණයකු පැහැර ගෙන ගොස්‌ අයුතු ලෙස සිරකර තැබීම ඇතුළු අධි චෝදනා 24 ක්‌ යටතේ නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ නවවැනි විත්තිකාරිය වන පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු විත්තිකරුවන් 9 දෙනාට විදේශ ගතවීම වැළැක්‌වීමේ නියෝගයක්‌ පනවා ඔවුන් ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි කේ. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (21 වැනිදා) නියෝග කළාය.

රෝම සම්මුතියට අත්සන් කිරීම ලංකාව ප්‍රතික්‍ෂේප කරයි

ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතිය අත්සන් කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ අතුරුදන්වූවන් පිළිබඳ විමර්ශන කමිටුව කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‍ෂේප කර ඇත.

මෙම රෝම සම්මුතියට ඇමරිකාව, ඉන්දියාව, චීනය, සහ රුසියාව යන රවටල්ද අත්සන් කර නැත. මෙයට පෙර එම රෝම සම්මුතියට අත්සන් කරන ලෙස ස්‌විට්‌සර්ලන්තය හා එක්‌ටෝනියාවද ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබුණි.

අයවැයෙන් වාහන මිල වෙනස්‌ වන්නේ නෑ

ඉදිරි වසර දෙක තුළ වාහන ආනයන බදු සංශෝධනයකට ලක් නොකරන බවට තමන් වෙත මුදල් අමාත්‍යවරයා විසින් ‍පොරොන්දුවක් ලබා දී ඇති බවත් ඒ අනුව ඉදිරි අයවැයේදී වාහන ආනයන බදු අඩු කිරීමක් හෝ වැඩි කිරීමක් සිදු නොවනු ඇති බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

ඊයේ (21) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා ප්‍රකාශ කළේ එළැඹෙන නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත ආණ්ඩුවේ දෙවැනි අයවැය මගින් වාහන අඩු වේද වැඩි වේද යන්න පිළිබඳව මහජනතාව අතර අවිනිශ්චිත බවක් පැවතුණද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා තම සංගමය වෙත ලබා දුන් ‍පොරොන්දුවට අනුව මෙරට වාහන ආනයන බදු සම්බන්ධයෙන් කිසිදු වෙනස්කමක් සිදු නොවනු ඇති බව පෙන්වා දුන්නේය.