මහින්දගේ මන්ත්‍රීන් ශ්‍රීලනිප සමුළුවට නෑ

ඒකාබද්ධවිපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම කුරුණෑගල පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයට සහභාගි නොවීමට බොහෝදුරට ඉඩ ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන ආසනවල ආසන බල මණ්ඩල කැඳවා පක්ෂ සම්මේලනයට සහභාගි විය යුතු දැයි පක්ෂ සාමාජිකයින්ගෙන් මේ දිනවල විමසමින් පවතියි. 

සුජානි බෝගොල්ලාගමට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ගවර්ස් කොපරේෂන්හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම මෙනෙවිය කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා විසින් අද (26) බර ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.

නාමල් රාජපක්ෂ මහතාගේ එන්ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කොපරේෂන් සමාගම් දෙකේහි සිදුවූ බව කියන රුපියල් මිලියන 45ක වංචාවක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනුණි.

රෝසිගෙන් පොලිසියට තග

හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දිනේෂ් ඩි. දොඩංගොඩ මහතාට පෙරේදා (24) දින පහරදී ඇත්තේ ඉසිර අසේල දිසානායක නැමැත්තෙකු බව මේ වන විට හෙළිදරව් වී තිබේ.

මොහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී - රෝසි සේනානායක මහත්මියගේ ළඟම ඥාතියෙකු බව පැවසේ. නැතිනම් ඔහු රෝසි සේනානායකගේ සොයුරියගේ හිටපු සැමියා වන දයාන් දිසානායකගේ ඥාතියකු බව වාර්තා වේ.

වරද පිළිගනියි - නකල්ස් මස්වැද්දන් නිදහස්

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩුදුන් නක්ලස් රක්ෂිතයේ සතුන් ඝාතනය කර එම ඡායාරූප අන්තර් ජාලයට මුදාහැරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් 06 දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.

ඒ අනුව පන්විල සංචාරක මහේස්ත්‍රාත් එම්.එච්. රෆික්ඩීන් මහතා ඔවුන්ට 175,000ක දඩයක් නියම කළ බව වාර්තාකරු සඳහන් කළේය.

ලංකාවේ 9657ක් සියදිවි නසාගෙන

ශ්‍රී ලංකාවේ ඉකුත් වසර තුනේදී සියදිවි නසාගැනීම් 9657ක් සිදුවී ඇත. එම සියදිවි නසාගැනීම් අතරේ පුරුෂයන් 7576ක් සහ ස්ත්‍රීන් 2081ක් ඇති බව සඳහන් වෙයි. ස්ත්‍රීන් 752ක් හා පුරුෂයන් 2703ක් 2013 වසරේද, ස්ත්‍රීන් 660ක් හා පුරුෂයන් 2484ක් 2014 වසරේද, ස්ත්‍රීන් 669ක් හා පුරුෂයන් 2389ක් 2015 වසරේදීද දිවි නසා ගැනීම් සිදුවී ඇත.

ඉකුත් වසර තුනේදී සිදුවූ සියදිවි නසාගැනීම් වලින් වැඩිම ප්‍රමාණය වන සියදිවි නසාගැනීම් ප්‍රමාණය වයස අවුරුදු 71න් ඉහළ සහ වයස අවුරුදු 21 - 25 අතර අය අතුරින් සිදුවී ඇත.