ප්‍රාග්ධන බද්ද යළිත්

ප්‍රාග්ධන බද්ද මේ වසරේදී යළි ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

වසර 3කට පමණ පෙර මේ ප්‍රාග්ධන බද්ද අය කිරීම අත්හිටුවුවද එය නැවත ක්‍රියාත්මක කිරීමට පැවැති රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පිටකෝට්ටේ ජාතික සේවක සංගම් පරිශ්‍රයේදී ඊයේ (25දා) පැවැති උත්සවයකදී පැවැසුවේය. ප්‍රාග්ධන බද්ද අත්හිටුවීම නිසා කොම්පැනිකාරයන් ඇතුළු ධනපතියන්ට යහපතක් වූවා මිස වැඩ කරන ජනතාවට කිසිදු සෙතක් සිදු නොවූ බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කෙළේය.

මාලක සිල්වාට පහර දීපු සුද්දා ලංකාවට ඇවිත්

බම්බලපිටියේ රිදම් ඇන්ඩ් බ්ලූ රාත්‍රි සමාජ ශාලාවේදී හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වාට පහර දුන් බව කියන බි්‍රතාන්‍ය ජාතික සැකකරු වසර 2 කට පසු මෙරටට පැමිණ ඊයේ (25දා) අධිකරණයට ඉදිරිපත් වූ අතර ඔහු රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ නියෝග කෙළේය.

බි්‍රතාන්‍ය ජාතික ජේම්ස් කැසර්ලි මහතා එලෙස ඇප මත මුදා හරිනු ලැබීය.

වැරැදි හතකට ලොකු දඩයක් කයි

යතුරුපැදියක් ධාවනය කර වැරැදි හතකට වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් තිස්නවදහසක දඩ මුදලක් ගෙවන ලෙස හෙට්ටිපොළ අධිකරණ මහෙස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.

පොලිස් සංඥාවට අවනත නොවීම (රු. 2000), අපරික්‍ෂාකාරී රිය ධාවනය (රු. 10,000), ආරක්‍ෂක හිස්වැසුම් නොමැතිව රිය පැදවීම (රු. 2000), රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම (රු. 3000), ආදායම් බලපත්‍රය නොමැතිව රිය පැදවීම (රු. 2000), රක්‍ෂණ සහතිකය නොමැතිව රිය පැදවීම (5000), පිටුපස අංක තහඩුව නොමැති යතුරුපැදියක් ධාවනය කිරීම (15,000) යන වැරැදි හත සඳහා එම දඩ මුදල ගෙවන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

හිමිනමකගේ කැත වීඩියෝවක් ගහලා

ගල්නෑව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් මත් කොට අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකට පොලඹවා එම දර්ශන වීඩියෝගත කර කප්පම් වශයෙන් දස ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබාගත් බව කියන පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (24දා) ගල්නෑව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

මීට මාසයකට පමණ පෙර හිමිනම පදිංචි විහාරස්ථානය වෙත පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනා හිමිනම මත්කොට අස්වාභාවික ලිංගික ක්‍රියාවලියකට පොලඹවා එය තවත් අයකුට වීඩියෝගත කිරීමට අවස්ථාව සලසා දී ඇත. පසුව එම වීඩියෝ දර්ශන ප්‍රසිද්ධ කරන බව පවසා ප්‍රථමයෙන් හිමිනමගෙන් ඔවුන් රුපියල් එක්ලක්ෂ විසිපන්දහසක මුදලක් ලබා ගෙන තිබේ. ඉන් අනතුරුව තවත් දෙවතාවකදී රුපියල් නව ලක්ෂයක් හිමි නමගෙන් ලබාගෙන ඇත.

ලාංකිකයින් 5ක් එංගලන්තයේ දී මරුට

එංගලන්තයේ කැම්බර් සෑන්ස් වෙරළ තීරයේදී ශී‍්‍ර ලාංකික තරුණයින් 05 දෙනෙකු මියගොස් තිබේ.

එම වෙරළ තීරයේ රැඳී සිටි පුද්ගලයින් බොහෝමයක් අදාළ තරුණයින් 05දෙනාම දියෙහි ගිලෙණු දැක ඇති බව එංගලන්තයේ ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.

මේ වනවිට මියගිය 05 දෙනාගෙන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති අතර අනෙක් දෙදෙනාගේ සිරුරු සෙවීම සදහා හෙලිකොප්ටර් යානා සහ කිමිදුම් කණ්ඩායම් මඟින් මෙහෙයුමක් දියත් කොට තිබේ.