මුරලි ජාතික වීරයෙක්

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස දින 10ක කාලයක් කටයුතු කිරීම පිළිබඳව ලෝකයේ බිහිවූ විශිෂ්ඨතම දග පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විවේදනය කිරීම බොහෝ දෙනෙකුගේ නොසතුටට පත්ව තිබේ.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ මුරලි සෑමදාම ජාතික වීරයෙක් ලෙස සිටින බවත් ඔහු ශ්‍රී ලංකාවට දක්වන ආදරය හා පක්ෂපාතීත්වය පිළිබඳව කිසිඳු ගැටලුවක් නැති බවයි.

මුසම්මිල් යළිත් රිමාන්ඩ්

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා තවදුරටත් ලබන මස 10 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය ජූනී මස (20) වන දින අත්අඩංගුවට ගත් සැකකරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දින දක්වා සිව්වතාවක් රිමාන්ඩ් කරන ලදී.

පාසල් දැරිය අලියාට බිලි

තණමල්විල ආනන්දපුර බටගල ආර ප්‍රදේශයේ පාසල් දැරියකට හා ඇගේ සීයාට වන අලියෙකු පහරදීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දිවිය ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය කියයි. අද (27දා) අලුයම මෙම අනතුර සිදුව තිබේ.

සීයා විසින් සිසුවිය පාසලට රැගෙන යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා තිබේ. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 9 හැවැරිදි හෂිනි උදේශිකා රත්නායක සිසුවියෙකි.

රත්නපුරයේ ගණිකාවෝ 400 ක්

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වෘත්තීය ගණිකාවන් 400 දෙනකු පමණ හඳුනාගෙන ඇති අතර ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දනයේදී වඩාත් බලපෑම් සහිත හා අවදානම් කණ්ඩායම ලෙස ඔවුන් නම් කළ හැකියැයි රත්නපුර මහ රෝහ‍ලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ ස්ථානාධිපති වෛද්‍ය කාංචන උපසේන මහතා ප්‍රකාශ කළේය.

වෛද්‍යවරයා ඉහත ප්‍රකාශය කළේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධනය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා එම ඒකකයේදී ඊයේ (26) පැවැත් වූ වැඩසටහනක් අතරතුරදීය.

ක්‍රිකට් ලෝලියකු නිරුවත් රංගනයක

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් නතර කර තිබියදී පිටිය පුරා එලා තිබූ ආවරණ මතට පැමිණි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝලියකු නිරුවත් රංගනයක යෙදුණේය.

ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව යට වැස්සේ තෙමෙමින් රැස්ව සිටි ඔස්ට්‍රේලියා‍නු ක්‍රිකට් ලෝලීන් අතර සිටි උස හීන්දෑරී තරුණයෙක් පිටිය මැදට පිවිස ජලයෙන් පෙඟී තිබූ ආවරණ මත දිගාවිය. ඉන්පසුව නැගිට සිටි ඔහු පළමුව බැනියම ඉවත් කර වීසි කළේය. ඉන්පසුව කොට කලිසමද ඉවත් කළ ඔහු උපන් ඇඳුමෙන් යුතුව ආවරන මත ලිස්සා යමින් රංගනයක යෙදුනේය.