විද්‍යා අමරපාල සඳුදා සිට යළි වැඩ

පැනමා පත්‍රිකා සම්බන්ධයෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය කළ පරීක්‍ෂණයේදී මහා නගර හා බස්‌නාහිර සංවර්ධන (මෙගා පොලිස්‌) අමාත්‍යාංශයේ උපදේශක ලෙස කටයුතු කළ විද්‍යා අමරපාල මහතා කිසිදු මූල්‍ය වංචාවකට සම්බන්ධ නැති බව අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව විෂයභාර ඇමැතිවරයාගේ නියෝග මත පරීක්‍ෂණ නිමවන තෙක්‌ අමාත්‍යාංශ උපදේශක තනතුරින් ඉල්ලා අස්‌වූ ඒ මහතා, ලබන සඳුදා (25 වැනිදා) සිය සුපුරුදු තනතුරේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.

වාස්‌ට කැපිල්ලක්‌?

ශ්‍රී ලංකා කණ්‌ඩායමේ වේග පන්දු පුහුණුකරුවා ලෙස චමින්ද වාස්‌ව පත්කර ගැනීමට කණ්‌ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙතුන් දෙනකු මැළි කමක්‌ දැක්‌වීම හේතුවෙන් මේ වන තෙක්‌ අදාළ තනතුර වෙනුවෙන් චමින්ද වාස්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය කිසිදු සාකච්ඡාවක්‌ සිදු කර නොමැති බව වාර්තා වේ.

කොළඹට පැය 12ක ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය සේවා කටයුත්තක් හේතුවෙන් අද මධ්‍යහ්න 12 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා පැය 12 ක කාලයක් කොළඹ හා අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, කොස්වත්ත, කළුපළුවාව, තලවතුගොඩ, ජයවඩනගම, මාලඹේ, හෝකන්දර , මහරගම, බොරලැස්ගමුව සහ කොළඹ 05 ප්‍ර දේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

බස් ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි

බස් ගාස්තු සංශෝධනයට අදාළ නව සේවා ගාස්තු සියල්ල ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කොට තිබේ.

අධිවේගී මාර්ගයන්හි සහ අන්තර් පළාත් බස් සේවා ඇතුළු සියළුම ලංගම සහ පෞද්ගලික බස් සේවාවන්හි බස් ගාස්තු සංශෝධනය වනු ඇත.

ලබන අගෝස්තු මස 01වැනිදා සිට ක්‍රියාත්මක බස් ගාස්තු චක්‍ර ලේඛනය මඟින් අනුමත ප්‍රමාණයට වඩා මගීන්ගෙන් ගාස්තු අය කරන බස් ධාවකයන් පිළිබඳව දැඩිව ක්‍රියාකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

ඥාණසාර හිමි ජාතික රෝහලට

යාපනය විශ්ව විද්‍යාලයේදී අන්තවාදී සිසු පිරිසකගේ පහරකෑමට ලක්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ශිෂ්‍යාගේ සුවදුක් බැලීම සඳහා බොදු බල සේනා මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කරන ලදි.හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙත් එම සිසුවා ශල්‍යකර්මයකට ලක් කර ඇති අතර මේවන විට සුවය ලබමින් සිටී.