ව්‍යාජ ගමන් බලපත්‍ර මුද්‍රණ ආයතනයක් වටලයි

කොළඹ අවිස්සාවේල්ල පාරේ කොටිකාවත්ත ප්‍රදේශයේ නිවෙසක තිබී ව්‍යාජ ගමන් බලපත්‍ර 75ට වැඩි ප්‍රමාණයක්, ව්‍යාජ කුවේට් වීසා සහිත ගමන් බලපත්‍රවල කොටස් සහ පුද්ගලයන් රැසකගේ ජාතික හැඳුනුම්පත් තොගයක් සමඟ එම ස්ථානය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය කියයි.

පාඨලී කෝටි 100ක වන්දියක් ඉල්ලයි

මව්බිම දිනපතා පුවත්පතේ පළ වූ වාර්තා කිහිපයකින් තම කීර්තිනාමයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි 100ක වන්දියක් ඉල්ලා අමාත්‍ය පාඨලී චම්පික රණවක එන්තර වාසි යවා තිබෙනවා.

එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට , වාර්තාකාරිණියට , ප්‍රකාශක සමාගමට , ජනතා විමුක්ති පෙරමුණට හා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරටයි මෙසේ එන්තර වාසි යවා තිබෙන්නේ.

මහින්දගෙන් නිවේදනයක්

අතුරුදහන් වූවන්ගේ කාර්යාලයක් පිහිටුවීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ යහපාලන ආණ්ඩුව පිහිටුවීමට එකඟ වී තිබෙන යුධ අපරාධ විමර්ශන යාන්ත්‍රණයේ එක් කොටසක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මෙම පනත් කෙටුම්පත නීතියක් බවට හැරවීමට ඡන්දය දෙන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටත්,ජාතියත්,සන්නද්ධ හමුදාවනුත්,පාවා දීම සම්බන්ධයෙන් ජනතාවට වගකීමට සිදුවනු ඇතිබව හෙතෙම පවසන්නේ නිවේදනයක් නිකුත්කරමින්ය.

කොළඹ වරායට නව ගුදමක්

කොළඹ වරායෙහි ගුදම් (warehouse) පහසුකම් පුළුල් කිරීමට පියවර ගැනේ. එහි පළමු පියවර යටතේ ඉදිකෙරෙන CFS 01 ගුදම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ 37 වැනි සංවත්සරයට සමගාමීව ලබන මස 10 වැනිදා විවෘත කිරීමට නියමිත බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. 

වර්ග මීටර 5400 ක ප්‍රමාණයකින් යුක්ත එම ගුදම, අර්ධ පූර්ණ බහලු මෙහෙයුම් සහ ප්‍රති අපනයන නැව් භාණ්ඩ මෙහෙයුම් ඉලක්ක කර ඉදිකෙරේ.

දෙවුන්දර පෙරහැරේ අලියෙක් කුලප්පු වෙච්ච හැටි

හත්සිය පනස් නවවන වරටත් සංවිධානය කරණු ලැබූ දෙවුන්දර ශී‍්‍ර උපුල්වන් දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ පැවැත්වුණා.

ඒ වෙලාවේ පෙරහරේ ගිය අලියෙක් කුලප්පු වෙලා ලොකු කලබලයක් ඇතිවුණා.

ප්‍රභුන් වෙනුවෙන් වෙන්කරනලද පීඨිකාව ආසන්නයහී දී තමයි මේ කලබලය වුණේ.