කන්ජිපානි ඉම්රාන් ඉන්දියාවට පනී

සංවිධානාත්මක කල්ලි නායකයෙක් බව කියන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් ‘කංජිපානි’ ඉම්රාන් ඇප මත මුදා හැර දින කිහිපයකට පසු ඉන්දියාවේ රාමේෂ්වරම් වෙත පළාගොස් ඇති බව ප්‍රා දේශීය පොලිස් වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

මේ අනුව කංජිපානි ඉම්රාන් 2022 දෙසැම්බර් 25 වන දින රාමනාතපුරම් දිස්ත්‍රික් වෙරළ තීරයට මුහුුදු මාර්ගයෙන් ගොස් ඇති අතර ඔහු පිළිබඳව විමර්ශනයෙන් පසුවන ලෙස තමිල්නාඩු බුද්ධි අංශ ප්‍රාන්තය පුරා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අනතුරු ඇඟවීමක් කර ඇත.

මිනීමැරුම් සහ සාපරාධී බිය ගැන්වීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන්ට අවශ්‍යව සිටි ඉම්රාන් 2019 දී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කරන ලදී. ඉන් අනතුරුව ඔහු විශේෂ ආරක්ෂක විදිවිධාන යටතේ රක්ෂිත බන්ධනාගර ගත කළ අතර පසුගියදා ඔහු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කටයුතු කර තිබුණි.

ඇප මත මුදා හැරීමෙන් පසු ඉම්රාන් ඉන්දියාවට ඇතුළු වීමට සැලසුම් කර ඇති බවට මධ්‍යම බුද්ධි අංශවලින් සහ විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් රාජ්‍ය බුද්ධි අංශයට නිශ්චිත තොරතුරු ලැබී තිබුණි. ඉම්රාන් වෙස් වළාගෙන අධිකරණයෙන් පිටව යෑමෙන් අනතුරුව තලෙයිමන්නාරමට ගොස් ඇති අතර එහිදී ඔහුගේ සගයන් මාර්ගයෙන් ඔහු ඉන්දියාවට ගොස් ඇති බවට වාර්තා වෙයි.

ඉම්රාන් යනු ඇෆ්ගනිස්ථානයෙන් සහ පකිස්ථානයෙන් පිටත හෙරොයින් සහ කොකේන් සැපයුම්කරුවන් සමඟ ශක්තිමත් සබඳතා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. ඔහුට විරුද්ධව ශ්‍රී ලංකාවේ නඩු කිහිපයක් තිබේ. මාකඳුරේ මධූෂ්ගේ දියණියගේ පළමු උපන්දින සැමරුම වෙනුවෙන් ඩුබායිහි හෝටලක සංවිධානය කර තිබූ සාදයකදී මාකඳුරේ මදූෂ්, කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් 2019 වසරේදී අත්අඩංගුවට ගැණින.

මේ වන විට ඉන්දීය ආරක්ෂක අංශ විශේෂයෙන් වෙරළබඩ දිස්ත්‍රික්කවල අවදානම් ස්ථානවල නිරීක්ෂණ වැඩි දියුණු කිරීමට සහ සැකකරු සොයා ගැනීම සඳහා බුද්ධි යාන්ත්‍රන සක්‍රීය කිරීමට කටයුතු කර තිබේ

ඔහු පකිස්ථානයේ හාජි සලීම් සහ ශ්‍රී ලංකාවේ තවත් සංවිධානාත්මක අපරාදකරුවෙක් වෙන ග්‍රණසේකරන් නොහොත් කිඹුලාඇලේ ගුණා සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට  විමර්ශකයින් විශ්වාස කරයි