අජිත් රාජපක්ෂ නි. කතානායක ධුරයට


පාර්ලිමේන්තුවේ නව නියෝජ්‍ය කතානායකවරයා ලෙස අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් තේරී පත් විය.
අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඡන්ද 109 ක් හිමි වූ අතර රෝහිණි කවිරත්න මන්ත්‍රීවරියට හිමිවූ ඡන්ද සංඛ්‍යාව 78 කි.

නියෝජ්‍ය කතානායකවරයා තේරීමේ ඡන්ද විමසීමේදී ප්‍රතික්ෂේප වූ ඡන්ද සංඛ්‍යාව ඡන්ද 23 කි.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කතානායකවරයා අද උදෑසන තීරණය කළේ, ඒ සඳහා නම් දෙකක් යෝජනා වීම හමුවේයි.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා යෝජනා වූ නම් දෙක වූයේ, සමගි ජනබලවේගයේ රෝහිණි කවිරත්න මහත්මියගේ නම සහ පොදුජන පෙරමුණේ අජිත් රාජපක්ෂ මහතාගේ නමයි.

නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් දෙකක් යෝජනාවීමත් සමග ඇතැම් මන්ත්‍රීවරුන්ගෙන් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඔවුන් කියා සිටියේ, ඡන්ද විමසීකදී මහජන මුදල් නාස්තියක් සිදුවන බැවින් පක්ෂ නායකයින් එක් රැස්වී තීන්දු කර නි. කතානායක ධුරය සඳහා එක් නමක් පමණක් යෝජනා කරන ලෙසයි.

නම් දෙකක් යෝජනා වීමට විරෝධය පළ කරමින්  විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියා සිටියේ, සිය පක්ෂය ඇතුළු පක්ෂ 10 නියෝජ්‍ය කතානායක තේරීමේ ඡන්දය කටු ගා දමන බවයි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද නැගී සිටිමින් පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඡන්ද පත්‍රිකාව කටු ගා දමන බවයි.

මීට පෙරත් නියෝජ්‍ය කතානායක ධුරය සඳහා නම් 02ක් යෝජනා වීම හමුවේ ඡන්ද විමසීමක් පැවති අතර ඉන් හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යළි තේරී පත් විය .

අද නැවතත් නියෝජ්‍ය කතානායකවරයෙකු තෝරා ගැනීමට සිදුවූයේ, රංජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම හමුවේයි.