තෙල් බවුසරයට ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට


ඉන්ධන බවුසරයට ගිනිතැබීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණයෙක්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (22) රාත්‍රියේදී එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙක්වය.

ඔහු රඹුක්කන ධර්මපාල මාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

ඔහුගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය පැවසීය.

මේ අතර රඹුක්කනදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 22ක කණ්ඩායමක් විසින් ඉදිරි විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 20ක් පමණ සටහන් කරගෙන ඇති අතර විවිධ ලේඛණ 10ක් නඩු භාණ්ඩ ලෙස විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.සිද්ධිය ඇතිවූ ස්ථාන අවට ඇති CCTV කැමරාවල දත්ත ලබාගනිමින් විමර්ශන ඉදිරියට යන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සහ විවිධ නාලිකාවල වීඩියෝ දර්ශන පළ කෙරුණු බවත් ඒවා ඇසුරෙන්ද විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. පසුගිය 19වනදා ඉන්ධන ඉල්ලා රඹුක්කනදී පැවැති විරෝධතාවයක් අතරතුර ඉන්ධන බවුසරයක් නවතා ඊට ගිනිතැබීමට පිරිසක් උත්සාහ ගෙන තිබුණි. එම සිද්ධියේදී වෙඩිවැදී පුද්ගලයෙක් මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබේ.