ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියන 500 ක්


ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පවසා තිබෙනවා.

අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ බංග්ලාදේශයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජය කැමැත්ත පළ කර ඇති බවයි. රොයිටර් පුවත් සේවය වාර්තා කර  ඇත්තේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් ඒ පිළිබද ඊයේ දිනයේ ප්‍රකාශ කළ බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ලබාදෙන ආධාර ලැබීමට මාස 6  පමණ කාලයක් ගත වන බවයි විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. කොටස් වශයෙන් එම ආධාර ලැබෙන තෙක් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට සදහා ආධාර සොයාගත යුතු බවද විදේශ අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේ අතර පවතින දුෂ්කරතා මගහරවා ගැනීම සදහා ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා ආයතනය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාල සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව ප්‍රකාශ කර තිබුණා. ලබාදෙන ආධාර පිළිබද ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ.