පළමු විස්සයි20 තරගයේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම අතර බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැති පළමු විස්සයි20 තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

බංග්ලාදේශයෙන් එල්ල වූ ලකුණු 194ක ඉලක්කය පන්දුවාර 16.4කදී කඩුලු 4ක් පමණක් වැය කර සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනූ බංග්ලදේශය මුලින්ම පන්දුවට පහරදෙමින් ලකුණු 193/5ක් රැස්කළේය. සෞම්‍ය සර්කාර් හා මුෂ්ෆිකාර් රහීම් අර්ධ ශතක රැස්කරමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කළහ.

ජීවන් මෙන්ඩිස් කඩුලු දෙකක් දවා ගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදුන් කුසල් මෙන්ඩිස් (53) හා ධනුෂ්ක ගුණතිලක (30) පන්දුවා 4.5කදී 52ක් රැස්කළෝය. ඉන් අනතුරුව දසුන් ශානක (42) හා තිසර පෙරේරා (39) වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාව තරගයේ ජයග්‍රහණය කරා රැගෙන ගියෝය. තරගයේ වීරයා බවට කුසල් මෙන්ඩිස් පත්විය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම වැඩිම විස්සයි20 ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ලබාගත් ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්වෙයි. එසේම අඛණ්ඩව විස්සයි20 තරග 8ක් පරාජට පත්වෙමින් ආ ගමනේ නිමාවද වෙයි.