ගාල්ලේ සිදුවීම ගැන අසත්‍ය මත පතුරවන අයට රතු නිවේදනයක්

ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊයේ සවස ඇතිවු ගැටුමකින් එම ප්‍රදේශයේ උණුසුම්කාරි වටපිටාවක් හටගත් බව දැනටමත් ඔබ දන්නවා ඇති. පෙරේදා දිනයේ ප්‍රදේශයේ තරුණයන් අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් එක් පාර්ශවයක පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් සවස පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිදුවීම නිසාම හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.


ඇති වූ තත්ත්වය සමථයකට පත් කිරීම සඳහා සඳහා විශේෂ කාර්ය බලකාය සහ අවට පොලිස් ස්ථානවලට නිලධාරීන් යෙදවීමට කටයුතු කල බවයි මාධ්‍ය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසූවේ.

අවශ්‍ය වුවහොත් සාධාරණ බලය ක්‍රියාත්මක කරන්නැයි ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පිරිස්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් දුන් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කලේය.

අනවශ්‍ය ලෙස කලබල ඇති නොකරන්නැයිද අසත්‍ය ප්‍රචාරවල හසු නොවන්නැයිද ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරන බවත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන්නන්ට එරෙහිව ද දැඩි නීතිමය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා..

මේ අතර ගාල්ල ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ප්‍රදේශයේ නීතිය හා සාමය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

එසේම හානි අවම කරගැනීමේ වගකීමෙන් යුතුව කටයුතු කරන සියලුම මාධ්‍ය ආයතන සහ අදාළ සියලුම පාර්ශව වෙත ස්තූතිය පුදකරන බවත් සිද්ධිය සැළවූ වහාම තමා පොලිස්පතිවරයා සමඟ දුරකකතනයෙන් සම්බන්ධවී අවශ්‍ය සියලු උපදෙස් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.

“මේ වෙනකොට ගිංතොට ප්‍රදේශයේ ආරක්ෂාව තර කරලා තත්ත්වය පාලනය කරලා ප්‍රදේශයේ නීතිය හා සාමය ස්ථාපිත කරලා තියනවා කියලා.ඊයේ රාත්‍රියේ ම අවට සියලුම පොලිස් ස්ථානවලින් අමතර පොලිස් කණ්ඩායම, කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව ද කැඳවුවා.

ඒ වගේම ජනාධිපතිතුමාගේ සහ පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි ප්‍රදේශයට පොලිස් ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කළා. ඒ වගේම මම කියන්න කැමතියි මේ සිද්ධිය මහා ජාතිවාදී ගැටුමක් බවට පත් කරගන්නට ඇතැම් දේශපාලන කල්ලි කණ්ඩායම් අසාර්ථක උත්සාහයක නිරත වෙලා ඉන්නවා කියලා වාර්තා වෙලා තියෙනවා.ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලන්න කැමතියි මේ අන්තවාදී දේශපාලන කල්ලි කණ්ඩායම්වල අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා කියලා.

ඒ වගේම තමයි ඒ දේශපාලන කල්ලි කණ්ඩායම්වල උදවිය මේවන විට ෆේස්බුක් හරහා අසත්‍ය වීඩියෝ පට සහ පුවත් හුවමාරු කරමින් ඉන්නවා. මම ඔවුන්ට දැනුම් දෙනවා මේකටයුතු වහාම නවත්වන්න කියලා. ඒ වගේම ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇතිකරවන ආකාරයේ ප්‍රචාර කවර හෝ ආකාරයකින් සිදුකරන සියලුම දෙනාට තරාතිරම නොබලා නීතියට අනුව කටයුතු කරනවා කියන දේ මම ඔවුන්ට දැනුම් දෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනාම කටයුතු කළ යුතු වන්නේ හානි අවම වන අයුරින්. මේ සිද්ධියෙන් පටු දේශපාලන වාසි ගන්න හිතාගෙන අසත්‍ය ප්‍රචාර ගෙනියන්න එපා කියන දේ මම නැවත නැවතත් කියනවා. යැයි අමාත්‍යවරයා කීය.