පූසා ඇදුම රෝගය වළක්‌වයි

නිවසෙහි පූසෙකු ඇති දැඩි කිරීම කුඩා දරුවන්ට ඇදුම රෝගය සෑදීම වැළැක්‌වීමට උපකාරී වන බව ඩෙන්මාර්කයේ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

කුඩා දරුවන් 400 දෙනකුට ආසන්න සංඛ්‍යාවක්‌ යොදා ගනිමින් සිදු කර ඇති මෙම අධ්‍යයනයට අනුව පූසෙකු සමඟ වැඩෙන දරුවන් ඇදුම රෝගයට ගොදුරුවීමේ ප්‍රවණතාව ඉතා අඩු බව අනාවරණය වී ඇතැයි අධ්‍යයනය මෙහෙය වූ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් හි ළමා වියේ ඇදුම රෝගය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්‌ථානයේ ජාකොබ් ස්‌ටොක්‌හෝම් පවසයි. ඔහුට අනුව පූසන් විසින් පිටත සිට නිවසට රැගෙන එන බැක්‌ටීරියා දිලීර හෝ වෛරසයන් හරහා ඇදුම රෝගයට හේතු වන ජාන විශේෂය අක්‍රිය වීම මෙම තත්ත්වයට හේතු වේ.


මෙම ඇදුම රෝගයට හේතු වන ජාන විශේෂය පූසන් සිටින විට අක්‍රීය වුවද, බල්ලන් සිටින විට එයට බලපෑම් එල්ල නොවන බව පර්යේෂකයෝ සඳහන් කර සිටිති.

ලොව පුරා ළමා වියේ සිට ඇතිවන ඇදුම රෝගය හේතුවෙන් වාර්ෂිකව 180,000 කට අධික සංඛ්‍යාවක්‌ මරණයට පත් වන බව හෙළි වී තිබේ.

ඉහත කී ජාන විශේෂය ක්‍රියාකාරී වූ විට ඇදුම රෝගය වැළඳීමේ අවදානම දෙගුණයකින් වැඩි වන අතර බ්‍රොන්කයිටිස්‌ හා නියුමෝනියා රෝග වැළඳීමට ද මඟ පාදන බව ඔවුහු කියා සිටිති.

මෙම අධ්‍යයනයට ලක්‌ වූ දරුවන් තුන්දෙනකුගෙන් එක්‌ අයකු තුළ ඇදුම රෝගයට හේතු වන ජාන විශේෂය පැවැති බව අනාවරණය වී තිබේ.

ඒමන්ති මාරඹේ