රු. 25000 වාහන දඩ ලබන මස සිට

රථවාහන වැරදි 5ක් සම්බන්ධයෙන් රු. 25000ක දඩමුදල් අය කිරීමේ නීතිය ලබන මස සිට ක්‍රියාත්මක වන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා කීය.
මේ සම්බන්ධ කෙටුම්පත තවමත් නිකුත් කර නැති හෙයින් තරමක ප්‍රමාදයක් පැවතුණද හැකි ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීමට ‍කටයුතු යොදනු ලබන බවද ඒ මහතා කීය. ඒ අනුව බීමත්ව රිය පැදවීම, රියැදුරු බලපත්‍රයක් නැතිව රිය පැදවීම හෝ එවැන්නකුට තම රථය පැදවීමට ඉඩ දීම, අනාරක්ෂිත ලෙස දුම්රිය හරස් මාර්ගවලින් ධාවනය කිරීම, රක්ෂණ ආවරණයක් නැතිව රිය ධාවනය යන වැරදි සඳහා රු. 25000ක් බැගින් දඩ මුදල් නියම කරනු ඇත.

රථවාහන වැරදි 7ක් ආරම්භයේදී මේ සඳහා යෝජිතව තිබුණද පසුව වමෙන් ඉස්සර කර යෑම සහ අධික වේගය යන කරුණු එයින් ඉවත් කර ඇතත් විශේෂයෙන්ම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් ‍වමෙන් ඉස්සර කර යෑම ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
රටේ සිදු වන අනතුරුවලින් බහුතරයකට බලපා ඇත්තේ යතුරුපැදි හා ත්‍රිරෝදරථ වැරදි බවත්, මේ අනතුරු වැඩි වශයෙන්ම සිදු වන්නේ නොසැලකිලිමත් ලෙස ධාවනය නිසා බවත් ඒ මහතා කීය. මේ දඩ මුදල් අධිකරණය මඟින් නියම කරනු ලබන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. අනෙකුත් රථ වාහන වැරදි දඩ මුදල්ද වැඩි කර ඇත.